Home » ආඩිගම නගරයේ අඩුපාඩු සපුරන්නැයි ජනතාව ඉල්ලති

ආඩිගම නගරයේ අඩුපාඩු සපුරන්නැයි ජනතාව ඉල්ලති

by sachintha
February 12, 2025 1:19 am 0 comment

කුමාර වන්නි පළාතේ වාණිජමය වශයෙන් දියුණු වන නගරයක් බවට පත්ව තිබෙන ආඩිගම නගරයට අත්‍යවශ්‍ය පොදු අඩුපාඩු සපුරාදෙන ලෙස ප්‍රදේශවාසීහු රජයෙන් ඉල්ලීමක් කරති. එහිදී දැනට ඉතා කුඩා ස්ථානයක පෞද්ගලික කඩ කාමරයක පවත්වාගෙන යන උප තැපැල් කාර්යාලය ගොඩනැඟිල්ලක් ඉදිකර දීම, ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් ඉටු කිරීම සඳහා ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ අලෙවිසලක් ඉදිකිරීම, රජයේ වෛද්‍යවරයකු නේවාසිකව රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීම ප්‍රමුඛ කාර්යයන් බව ජනතාව පෙන්වා දෙති. මේ පිළිබඳව අදහස් දැක්වූ ඩබ්.ඒ. නලීන් ධනුෂ්ක මහතා මෙසේ කීවේය.

Òආඩිගම උප තැපැල් කාර්යාලය දැන් පවත්වාගෙන යන්නේ ඉතා කුඩා කඩ කාමරයක. දියුණු වෙන ආඩිගම නගරයට හොඳ තැපැල් කාර්යාලයක් අවශ්‍යයි. ඉඩකඩ තිබෙන ගොඩනැඟිල්ලක් ඉදි කළොත් එය නගරයටත් වටිනාකමක්. ජනතාවටත් පහසුවක්. නව උප තැපැල් කාර්යාලයක් ඉදි කිරීමට නගර මධ්‍යයේ රජයේ ඉඩම් තිබෙනවා. ඊට අමතරව නගර මධ්‍යයේ දැනට වසර විස්සක පමණ කාලයක සිට ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබෙන රජයේ ගොඩනැඟිල්ලක් තිබෙනවා. රජයේ ආයතන අතර එකඟතාවයෙන් එම ගොඩනැඟිල්ල ගන්නත් පුළුවන්. කොහොම හරි ආඩිගම නගරයට උප තැපැල් කාර්යාලයක් සඳහා ගොඩනැඟිල්ලක් කුඩාවට හෝ ඉදිකර දෙනවා නම් එය වටිනා ප්‍රයෝජනයක්.Ó

ආඩිගම මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් සුගත් කහඳවල මහතා ද මෙසේ අදහස් දැක්වීය.

Òආඩිගම නගරය තුළ මහජන බැංකුව, ලංකා බැංකුව පිහිටා තිබෙනවා. ඒ අතරට රජයේ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සතොස අලෙවිසලක් ඉදි කළොත් එය ජනතාවට විශාල ප්‍රයෝජනයක්. පාරිභෝගික ද්‍රව්‍ය සාධාරණ මිලකට ගන්න එමඟින් අවස්ථාව හිමිවෙනවා. ඒ වගේම අනාගත ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්වලදී මහජන ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මූලිකවම අප ඉල්ලා සිටින්නේ තැපැල් කාර්යාල ගොඩනැඟිල්ලක්, සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක්, සතොස අලෙවිසලක් හා පොදු ක්‍රීඩාංගණයක්. මේ පිළිබඳව රජයේ අවධානය යොමු වෙයි කියලා අපි අපේක්ෂා කරනවා.”

ආඩිගම සමූහ වාර්තාකරු – ඊ.එම්. දේවසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT