පුත්තලම, මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල තරුණ ව්‍යාපාරය ග්‍රාම නිලධාරී වසම තුළ 2018 වසරේදී යහපාලන රජය විසින් ඉදිකිරීම් ආරම්භ කරනු ලැබූ ජල ස්ථම්භයේ ඉදිකිරීම් අතරමඟ නවතා දමා තිබීම හේතුවෙන් වසර හතක් පුරාවට එය කැලෑ වැදී වල්බිහිවී ඇති බවට ගම්මු චෝදනා කරති. මෙම ව්‍යාපෘතිය ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ කෝටි අටදහසක ස්පාඤ්ඤ රජයේ ආධාර මත ආරම්භ කර ඇත. මෙම ජල ව්‍යාපෘතිය යටතේ ඉඟිනිමිටිය ජලාශයේ සිට මහකුඹුක්කඩවල දක්වා පානීය ජලය උමං නළ මඟින් රැගෙනවිත් මෙම ස්ථම්භයට ගබඩා කර, අනතුරුව ග්‍රාමීය ප්‍රජා මූල ජල සංවිධාන ඔස්සේ ගම්මාන වෙත බෙදාදීමට කටයුතු සැලසුම් කර තිබිණි. ඒ අනුව ග්‍රාම නිලධාරී වසම් 25ක විසිපන්දහසක් පමණ ජනතාවගේ පානීය ජල ගැටලුවට තිරසර විසඳුමක් මෙතුළින් ලබා දීමට බලාපොරොත්තු වී තිබිණි.
අද වන විට ඒ සඳහා යොදා ඇති කම්බි සියල්ල දිරාපත්ව ඇති බවත්, ඇතැම් පිරිස් එහි වටිනා දෑ සොරාගෙන ගොස් ඇති බවත්, මෙම ස්ථම්භය ඇතුළත පිහිටා ඇති විශාල ඉඩ ප්‍රමාණය රාත්‍රී කාලයේ මත්ලෝලීන්ගේ වාසස්ථානයක් බවට පත්ව ඇති බවත් ගම්වාසීහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුනිල් කුරෙ මහතා මෙසේ කීවේය.
Òමේ ගම්මානය ඉතා දුෂ්කරයි. යන්න එන්න පාරක්තොටක් නෑ. අගලේ වගේ පාරවල් තියෙන්නෙ. ඒ දුෂ්කර බව පෙනිලා තමයි මේ ව්‍යාපෘතිය අපේ ගමට ගෙනාවේ. නමුත් ඒ ගෙනාව දවසෙ ඉඳලා රජයෙ කිසිම වගකිවයුතු අයෙක් කිසිම සොයාබැලීමක් කළේ නෑ. කොන්ත්‍රාත්කරුට ඕනෙ විදියට තමයි මේකෙ වැඩ සිදු වුණේ. කොන්ත්‍රාත්කරු වැඩේ භාගෙට කරලා දාලා ගියා. ඊට පස්සෙ මේකෙ වැඩවලට ගෙනාව වටිනා දේවල් හොරකම් කරලා විනාශ වුණා. ඒ නිසා අපි දැන් පවතින රජයෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව විධිමත් අධීක්ෂණයක් කරලා, ව්‍යාපෘතියේ වැඩ අවසන් කරලා ගමේ ජනතාවට බොන්න වතුර ටික ලබා දෙන්න කියලා.Ó
මේ සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම්වරියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවසුවාය.
“මෙය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියක් නෙවෙයි. කෙසේ නමුත් අද වන විට ව්‍යාපෘතිය නැවතිලා. මේ සම්බන්ධයෙන් මට පිළිතුරක් දීමට නොහැකියි. මොකද මම ඒ පිළිබඳ දැනුම්වත් නැති නිසා. ජල සම්පත් මණ්ඩලය හරහා තමයි විමසීමක් කරන්න වෙන්නෙ.”
වනාතවිල්ලුව සමූහ – කේ. ප්‍රියංකර කළුපහන