හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව වසර පහක පමණ සිට දැන්වීම් එල්ලන හා කසළ රැස්වන ස්ථානයක් බවට පත්ව ඇති බව නගරවාසීහු පෙන්වාදෙති. වසර පහකට පමණ ඉහතදී මෙම ඔරලෝසු කණුව සක්‍රිය මට්ටමේ පැවති අතර, සිවු දිසාවටම මුහුණත් සවිකර තිබිණි. හෝරාවෙන් හොරාවට සංඥා හඬ සහිත වූ මෙම ඔරලෝසුව නගරවාසීන්ට මෙන්ම බාහිරින් පැමිණ සිටින ජනතාවට විශාල සේවයක් සැලසූ බවද එම නගරවාසීහු පවසති. නමුත් හැටන් – දික්ඔය නගර සභාව විසින් නඩත්තු කරනු ලබන මෙම ඔරලෝසුව වසර පහක පමණ කාලයක සිට අක්‍රිය වී ඇති බවත්, අවස්ථා කීපයකදී පිළිසකර කළ ද සාර්ථක නොවූ බවත් ඔවුහු පෙන්වාදෙති. මේ පිළිබඳව හැටන් – දික්ඔය නගර සභාවේ උසස් නිලධාරිනියකගෙන් විමසූ විට පැවසුවේ පසුගිය කාලයේ විදුලි බිල නොගෙවීම නිසා සම්බන්ධතාවය විසන්ධි කර තිබූ බවත්, එම හිඟ මුදල් ගෙවා අවසන්ව ඇති අතර නව සම්බන්ධතාවයක් ගැනීමට කටයුතු කරමින් සිටින බවත්ය.
හැටන් – චන්දන ජයවීර