Thursday, April 24, 2025
Home » අනුන්ගේ අවසර පත්‍රයකින් වෙන්දේසි සමාගමක් උයන්වත්ත වැව් රක්ෂිතය ඩෝසර් කරලා

අනුන්ගේ අවසර පත්‍රයකින් වෙන්දේසි සමාගමක් උයන්වත්ත වැව් රක්ෂිතය ඩෝසර් කරලා

-වාරිමාර්ගයේ අණින් වැඩ නවත්වයි

by sachintha
February 12, 2025 2:01 am 0 comment

වගා කටයුත්තක් සඳහා පෞද්ගලික සමාගමකට වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් වසර දෙකකට පෙර අවසර ලබාදෙමින් දෙන ලද ලිපියක් උපයෝගී කරගෙන වෙන්දේසි සමාගමක් මඟින් බණ්ඩාරගම, උයන්වත්ත වැව් රක්ෂිතය ද අත්පත්කර ගනිමින් අක්කර දෙකහමාරක් නීති විරෝධී ලෙස ඩෝසර් කර තිබේ.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුට සහ තවත් කිහිපදෙනකුට අයත් බව කියන බණ්ඩාරගම, කොතලාවල උයන පාර, 661 ඒ ග්‍රාම නිලධාරී වසමේ උයන්වත්ත වැවට මායිම්ව පිහිටි මෙම ඉඩම හා වැව් රක්ෂිතය දින 9ක් වැනි කෙටි කාලයක් තුළදී තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික වෙන්දේසි සමාගමක් මඟින් අත්පත් කරගෙන එළිපෙහෙළි කරනු ලැබ ඇති බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දේවේන්ද පෙරේරා මහතා පැවසීය. ඔහු කියා සිටියේ, එම වෙන්දේසි සමාගම ඉඩමේ සංවර්ධන කටයුතු සඳහා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවෙන්, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ගොවිජන සේවාවේ නිලධාරී කාර්යාලයේ හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් හිටපු සභාපති දේවේන්ද පෙරේරා සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්පා දිනේන්ද්‍ර යන මහත්වරුන් විසින් කරන ලද දැනුම් දීමෙන් අනතුරුව ඒවා නිරීක්ෂණය කර නීති විරෝධී ලෙස රක්ෂිතය ද විනාශ කරමින් සංවර්ධන කටයුතු සිදු කර ඇති බවට ඔවුන් තහවුරු කරගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අවසර ලබාදුන් බව කියන ලිපියක් නිලධාරීන් වෙත ඉදිරිපත් කළත්, ලිපිය පරික්ෂා කිරීමේදී එය ලබාදී ඇත්තේ එම වෙන්දේසි සමාගමට නොව, කොළඹ 07, වෝඩ් පෙදෙසේ පෞද්ගලික සමාගමකට බවත්, එහි වගාවකට පමණක් අවසර ලබාදී ඇති බවට සඳහන්ව ඇති බවත්, එම ලිපිය ද නිකුත් කර ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදී බවත් අනාවරණය කරගෙන ඇත. මෙම මහා පරිසර විනාශය පෙන්වාදීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයේ ව්‍යාපෘති කළමනාකරු රිනීෂා බණ්ඩාර මහත්මිය වෙන්දේසි සමාගම මඟින් කිසිදු අවසරයක් ලබා නොගෙන නීති විරෝධීව සිදුකර ගෙන ගිය සංවර්ධන කටයුතු ද වහා නවතා දැමීමට පියවර ගත්තාය.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT