Wednesday, April 23, 2025
Home » ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
ඩුබායි සිට එද්දී ඇල්ලූ

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

- ලබන 14 දක්වා රිමාන්ඩ්

by sachintha
February 12, 2025 2:30 am 0 comment

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නාන්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට බලෑම් කිරීමක් සම්බන්ධයෙන් අබේරත්න ලියනගේ සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩ්‍රෑන් ප්‍රියසාද් නැමැති අය ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඊයේ (11) අලුයම අත්අඩංගුවට පත්විය.

ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාර දී මෙන් අනතුරුව ඔහුව වැඩිදුර විමර්ශන සඳහා නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

කොලොන්නාව මීතොටමුල්ලේ පදිංචිකරුවෙක් වන ඔහු විවිධ දේශපාලන සම්බන්ධකම් ඇති සංවිධාන රැසක් නියෝජනය කරමින් සිටින පුද්ගලයකි.

මෙම පුද්ගලයා 2024 වසරේදී නාන්නේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් අමතා මත්කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භකර තිබුණු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කර කළ විමර්ශනයේදී දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා ඩෑන් ප්‍රියසාද් නැමැත්තාම බව හඳුනාගෙන ඒ ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලීසිය පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඒ අනුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණයෙන් ලබාදෙමින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නියෝගය කළ බව පොලීසිය කියයි.

මෙම නියෝගය ලබා දෙන විට සැකකරු විදේශගතව සිට ඇත. සිය බිරිය හා දරුවන් තිදෙනා සමඟ ඊයේ අලුයම 05.05ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඔහු පැමිණ තිබුණි . එහිදී ආගමන විගමන නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන පොලීසියට භාරදීමට පියවර ගත්තේය.

ගාලුමුවදොර අරගල භූමියට 2022 වසරේ මැයි 09 වෙනිදා පහරදීමේ 06 වැනි සැකකරු ලෙස නම්කර සිටින්නේද ඩෑන් ප්‍රියසාද්ය. ඒ සම්බන්ධයෙන් ඔහු කලක් රක්ෂිත බන්ධනාගාරගතවද සිටියේය. ඒ සම්බන්ධයෙන් ඔහුව ඇප මත නිදහස හිමිවූයේ විදෙස් ගමන් තහනමක්ද සමගිනි. එම තහනම පවතින විට 2024 වසරේ සැප්තැම්බර් 20 වෙනිදා රාත්‍රී කාලයේදී ඔහු ඩුබායි බලා යාමට සූදානම් වූ අවස්ථාවේදී ගුවන් තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් හරවා තිබුණි. පසුව ඔහු සිය අඹුදරුවන් සමඟ ඩුබායි ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්විය.

අබේරත්න ලියනගේ සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩ්‍රෑන් ප්‍රියසාද් නමැති සැකකරු ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

ගයාන් කුමාර වීරසිංහ සහ

කටුනායක ගුවන්තොටුපොළ වාර්තාකරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT