Home » හම්බන්තොට වරායෙන් ඉන්ධන සැපයුම් සේවාව පුළුල් කිරීමට පියවර

හම්බන්තොට වරායෙන් ඉන්ධන සැපයුම් සේවාව පුළුල් කිරීමට පියවර

by sachintha
February 12, 2025 2:00 am 0 comment

හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් (HIP) තවත් සුවිශේෂී කටයුත්තක් ලෙස වැඩි සල්ෆර් අන්තර්ගත නෞකා ඉන්ධන (HSFO) හඳුන්වාදෙමින් තම ඉන්ධන සැපයුම් සේවාව පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

මේ නව හඳුන්වාදීමත් සමඟ අඩු සල්ෆර් අන්තර්ගත නෞකා ඉන්ධන (VLSFO), සමුද්‍රීය ගෑස් ඉන්ධන සහ සමුද්‍රීය ඩීසල් ඉන්ධන (MGO/MDO) ඇතුළු පූර්ණ ඉන්ධන සේවාවන් වරාය විසින් සපයයි. එතුළින් ලොව වඩාත් කාර්යබහුල මාර්ගයක් ඔස්සේ යාත්‍රා කරන පුළුල් පරාසයක නෞකාවලට සේවා සැපයීමට HIP සූදානමින් සිටින අතර, එයින් ගෝලීය සමුද්‍ර භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළ නංවනු ඇත.

HSFO ඉන්ධන සැපයුමත් සමඟ සම්පූර්ණ නෞකා තෙල් සැපයීමේ පහසුකම් ආරම්භ කිරීමෙන් ලොව ප්‍රමුඛ සමුද්‍රීය ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය ස්ථානගත කිරීමේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට ඉක්මනින් හැකිවන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරි විල්සන් ක්ව් මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“පුළුල් සේවාවන් සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා දිනෙන් දින වර්ධනය වෙමින් පවතින කීර්තියත් සමඟ, HIP සමුද්‍රීය වෙළෙඳාම සහ ඉන්ධන සැපයුම් සඳහා ප්‍රධාන ක්‍රියාකරුවකු ලෙස ප්‍රසිද්ධිය ලබමින් සිටිනවා. මේ ව්‍යාප්තියෙන් අපගේ සේවා පරාසය පුළුල් වනවා පමණක් නොව, ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන සමුද්‍රීය ක්‍රියාකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය වඩාත් ශක්තිමත් කරනවා.”

HSFO ඉන්ධන යටිතල පහසුකම් ඇති ශ්‍රී ලංකාවේ පළමු වෙරළබඩ ඉන්ධන ගබඩා පර්යන්තය සිය මෙහෙයුම් ඇරැඹීම සනිටුහන් කරමින් හම්බන්තොට වරාය, ජනවාරි මස 30 වැනිදා සිට පෙබරවාරි මස 01 වැනිදා දක්වා ‘ග්‍රෑන්ඩ් ඒස් 10’ නෞකාවෙන් HSFO මෙට්‍රික්ටොන් 5,000 ක් සහ VLSFO මෙට්‍රික්ටොන් 20,000 ක් සාර්ථකව ගොඩබා තිබේ. මේ මෙහෙයුම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නව ඉන්ධන සැපයුම් එළිදක්වනවා මෙන්ම, කලාපයේ ඉන්ධන විවිධත්වය ඉහළ නැංවීමට රුකුලක් ද වේ. ඊට අමතරව බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයකු වන සිනොපෙක් සමඟ වරායේ සහයෝගිතාව උසස් තත්ත්වයේ නෞකා ඉන්ධන සැපයීම සහතික කරයි.

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT