පසුගිය වසර කිහිපයේ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය ඩොලර් මිලියන 450ක විදේශ විනිමයක් උපයා දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (08) ජා-ඇල, උතුරු බටගම පිහිටි දේශීයව එකලස් කෙරෙන යතුරුපැදි සඳහා වයර් හානස් (Wire Harness) නිපදවන ඇකොලේඩ් වෙන්චර්ස් (Accolade Ventures) කර්මාන්ත ශාලාව, මෝටර් රථ සඳහා අමතර උපාංග නිපදවන එෆ්. ආර්. පී. ටෙක්නොලොජීස් (FRP Technologies ) කර්මාන්තශාලාව, මෝටර් රථ හා යතුරුපැදි සඳහා ආසන සහ කවර ඇතුළත් උපාංග නිපදවන ඔටෝ ෆෝම් (Auto Foam) කර්මාන්ත ශාලාව යන ත්‍රිත්වය නිරීක්ෂණයට එක් වෙමිනි.
එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මේ වන විට දේශීය වශයෙන් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා 17ක්, වාහන උපාංග නිපදවන කර්මාන්ත 78ක් පවතිනවා. එම කර්මාන්ත හරහා ඍජු හා වක්‍ර රැකියා 20,000කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය වී තිබෙනවා.
මේ වන විට මෝටර් බයිසිකල් එකලස් කිරීමේදී 60%ක පමණ අගයක් දේශීයව එකතු වෙනවා. මෝටර් රථවලට 25%ක පමණ අගයක් එකතු වෙනවා. TVS, BAJAJ, Hyundai, Proton, Cherry, JMC, Beijing වැනි ජාත්‍යන්තර සන්නාම රැසක් මෙරට මේ වන විට එකලස් වෙනවා. එමඟින් ඩොලර් මිලියන 450ක පමණ විදේශ විනිමයක් ලැබෙනවා.”
මේ අවස්ථාවට ඇකොලේඩ් වෙන්චර්ස් සමූහ සමාගමේ උප සභාපති ආචාර්ය ජෙරී ජයවර්ධන, ඇකොලේඩ් වෙන්චර්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන්, එෆ්. ආර්. පී. ටෙක්නොලොජීස් සමාගමේ සාමාන්‍යාධිකාරී දයාන් පීරිස්, අයිඩියල් ඉන්ඩස්ට්‍රීස් (Ideal Industries Limited) සමාගමේ සාමාන්‍යාධිකාරී ආසිරි විජයසේන, ටී. වී. එස්. සමාගමේ (TVS Lanka Private Limited) ප්‍රධාන විධායක නිලධාරී ගීතාල් ඇන්තනී සහ තන්ත්‍රී ට්‍රේලර්ස් (Tantri Trailers) සමාගමේ කළමනාකාර අධ්යක්ෂ අතුල හපුතන්ත්‍රී මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
නෙරංජලා වික්‍රමසිංහ