Thursday, April 24, 2025
Home » පෝ දා දම් දෙසුම

පෝ දා දම් දෙසුම

by sachintha
February 12, 2025 2:12 am 0 comment

දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ

න සෝ සබ්බත්‍ථ ජායතී,

යත්‍ථ සෝ ජායති ධීරෝ

තං කුලං සුමෙධති

ලක්වැසි සැදැහැති පින්වතුනි,

ව්‍යවහාර වර්ෂ ක්‍රමයට අද වසරේ දෙවැනි පොහොය දිනයයි. එනම්, නවම් පුර පසළොස්වක පොහොයයි. එකී දිනය සම්මා සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් සුවිශේෂ සිදුවීම් කිහිපයක් සිදුවූ උතුම් දිනයකි.

තුන්බෑ ජටිලයන් සසුන්ගත වීමෙන් සසුනට දහසක් දෙනා එක් වූහ. සැරියුත් මුගලන් දෙනම වහන්සේ සමඟ දෙසීය පනහක් සසුන්ගත වූහ. ඒ සැම එක්දහස් දෙසීය පනහක් විය. මේ සියලු දෙනා රජගහනුවර වේළුවනාරාමයේදී බුදුන් ඉදිරියේ ඒකරාශී වීමෙන් ප්‍රථම සංඝසන්නිපාතය සිදුවිය. එම අවස්ථාවේ සුවිශේෂ තනතුරු ප්‍රදානයක් සිදු විය.

ඒ පාරමීදම් පුරාගෙන අගසවු තනතුරු ප්‍රාර්ථනා කරගෙන පැමිණි සැරියුත් මුගලන් දෙනම වහන්සේට එම තනතුරු ලැබීමයි. ඒ අද වැනි දිනකය. සුදුස්සාට සුදුසු තැන හිමිවේ. සුදුසුකම් ඇත්නම් යමක් ලැබීම කාටවත් නතර කළ නොහැකි කරුණක් බව ඉන් පැහැදිලිය. එසේම යහපත් සිතින් යමක් ප්‍රාර්ථනා කරගෙන ඒ වෙනුවෙන් කළ යුතු යමක් වෙත් නම් නිසි ලෙස කරන්නේ ද එය ඒකාන්තයෙන්ම ඉටුවන බව අගසවු දෙනම වහන්සේගේ කතා වස්තුවෙන් තවදුරටත් සනාථ වේ.

මෙම සංඝසන්නිපාතය සිදුවූ අවස්ථාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි භික්‍ෂූන් විෂයයෙහි ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම සිදු කළ සේක.

වසර හතළිස් පහක් පුරාවට පැය 02ක් පමණක් විවේක ගනිමින් දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට ධර්මය දේශනා කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ ද අද වැනි දිනකය. ආරාධනා ලැබුණේ නම් තවත් කාලයක් ලෝ තලයෙහි වැඩ සිටීමට අවස්ථාව තිබුණ ද අනඳ හිමියන්ට එය කිරීමට නොහැකි වීමෙන් එම අවස්ථාව මඟහැරුණි.

මෙම වැදගත් සිදුවීම් සිදුවූ පින්බර පොහෝ දින ධර්මාවවාදයක් ලෙස ඉහත ගාථාව දේශනා කරමි. එහි අර්ථය නම් ‘‘සියලු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ පුද්ගලයා දුර්ලභ සත්ත්‍වයෙකි. හෙතෙමේ සෑම තැනක උපදින්නේ නැත. යම් තැනක ඒ වීරයා උපදින්නේ ද ඒ කුලය සැපතට පත්වේ.’’ යන්නයි. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පුද්ගලයා බුදුරජාණන් වහන්සේමය. බුදු බව ලබන මහබෝසතුන්ගේ පහළ වීම උසස් කුලයකම සිදුවේ. එපමණක් නොව එකී උපත මුළු මහත් සත්ත්‍වයාටම ශාන්තියකි. සැනසීමකි. බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසා එදා මෙදාතුර සැනසුම ලැබූවෝ අතිමහත්ය. අදට ද එසේමය.

බුදුවරුන් පමණක් නොව ලොව පහළ වන ලෝකයාට අර්ථයක් සිදු කරන අයගේ උපත ද එසේමය. උසස් කුලවල උපදින ඔවුහු ලෝකයාට සෙතක් සදති. එබැවින් සියලු දෙනාම ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වීමට උත්සාහ කළ යුතුය. බොරුවෙන් ලෝකයක් රවටන්නකුට කෙදිනකවත් ශ්‍රේෂ්ඨයකු වීමට නොහැකිය. ශ්‍රේෂ්ඨ නායකයෙක් වීමට නොහැකිය. වැඩිකල් පැවැත්මක් නැත. සත්‍ය කතා කළ යුතුය. සත්‍ය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. සතර බඹ විහරණ පුරුදු කළ යුතුය. කොටින්ම කිවහොත් සත්පුරුෂයෙක් විය යුතුය.

බුද්ධ චරිතය සියලු දෙනා ආදර්ශයට ගත යුතුය. ඒ තුළින් තම ජීවිතයට ආලෝකයක් ලබාගත යුතුය. තමන් සැබෑ ශ්‍රේෂ්ඨයෙක් වීමට වීර්යය කළ යුතුය. පින්වත් සැමට ඒ සඳහා භාග්‍ය උදාවේවායි මේ උතුම් දින ප්‍රාර්ථනා කරමි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT