Tuesday, April 22, 2025
Home » ආණ්ඩු අභිබවා බලය හසුරුවන ගැඹුරු රාජ්‍යය

ආණ්ඩු අභිබවා බලය හසුරුවන ගැඹුරු රාජ්‍යය

by sachintha
February 12, 2025 1:45 am 0 comment

ලෝක ආර්ථිකය සහ ගැඹුරු රාජ්‍යය අතර සම්බන්ධය රඳා පවතින්නේ අප “ගැඹුරු රාජ්‍යය” අදහස නිර්වචනය කරන්නේ කෙසේද යන්න මතය. අප විසින් එය නිලධාරීන්, බුද්ධි අංශ සහ ප්‍රභූන්ගේ බලවත් ජාලයක් ලෙස අප සලකන්නේ නම්, ගෝලීය ආර්ථිකය කෙරෙහි එහි බලපෑම වඩාත් පැහැදිලි වනු ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එකී සිද්ධිය සම්බන්ධයෙන් පළමු වරට කෘතියක් පළ කළ රාජන් හූල් ලියූවේ Sri Lanka’s Easter Tragedy: When the deep state gets out of its depth යනුවෙනි. එහි සිංහල අරුත වන්නේ “ශ්‍රී ලංකාවේ පාස්කු ඛේදවාචකය: ගැඹුරු රාජ්‍යය එහි ගැඹුරෙන් ඉවත් කළ විට” වැනි අදහසකි.

එහෙත් එය සිංහලට පරිවර්තනය කළ ප්‍රවීණ පරිවර්තක මහින්ද හත්තක එහි නම යොදන්නේ ‘‘පාස්කු ඛේදවාචකය (රහස් හස්තය එසවූ විට) ” යනුවෙනි. එතැන ‘ගැඹුරු රාජ්‍ය’ යන්නෙහි හැඳින්වීමක් නැත. එම සංසිද්ධියම පාදක කරගනිමින් සුනන්ද දේශප්‍රිය සිංහලෙන් ලියූ කෘතිය නම් කර ඇත්තේ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය: පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසඳුණු අභිරහස්” යනුවෙනි. අප මෙහිදී උත්සාහ කරන්නේ ඉහත කෘති ද්විත්වය ගැන යමක් ලියන්නට නොව Deep State යන්නෙහි සිංහල අරුත “ගැඹුරු රාජ්‍යය” හෝ “පාර රාජ්‍යය” යන දෙයාකාරයටම හඳුන්වා ඇති බව සිහිපත් කරන්නට ය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව අධිකරණයට දන්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා ලබාදුන් උපදෙසක් ආශ්‍රිතව පැන නැඟුණු කතිකාව තුළ ද, ‘ගැඹුරු රාජ්‍යය’ හෝ ‘පාර රාජ්‍යය’ පිළිබඳවද, යම් යම් අර්ථ නිරූපණ දැකිය හැකි විය. සැබවින්ම එය කුමක්ද?

දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රවල මේ පිළිබඳ අර්ථකථන කිහිපයක් දකින්නට ලැබේ. එය විවිධ බුද්ධිමය පසුබිම් සහිත න්‍යායික සංකල්පයක් ලෙස හඳුනාගත හැකිය.

1. ප්‍රභූ න්‍යාය

සී. රයිට් මිල්ස්, පැරේටෝ, මොස්කා වැනි චින්තකයින් පෙන්වාදෙන පරිදි මෙමඟින් යෝජනා කරන්නේ රටක තේරී පත් වූ නායකත්වය කුමක් වුවත්, කුඩා ප්‍රභූ කණ්ඩායමක් (ආයතනික නායකයින්, හමුදා නිලධාරීන්, නිලධාරීන්) ගන්න ප්‍රධාන තීරණ මත එරට පාලනය වන්නේ නම් එහි ඇත්තේ ‘ප්‍රභූ තාන්ත්‍රික’ මට්ටමේ ගැඹුරු රාජ්‍යයක් බවයි. නිදසුනක් ලෙස මිල්ස් ගේ ‘ද පවර් එලයිට්’ (1956) කෘතියේ දැක්වෙන්නේ දේශපාලන බලය සංකේන්ද්‍රණය වී ඇත්තේ තිරය පිටුපස ක්‍රියාත්මක වන කුඩා පාලක පන්තියකට බවයි.

2. නිලධාරිවාදී ආකෘතිය

මැකස් වෙබර් වැඩි බරක් තබන්නේ රහස්‍ය රාජ්‍යයක් ලෙස නොනිල ලෙස ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් පිළිබඳව ය. දේශපාලන අධිකාරියට අභියෝග කළ හැකි, ප්‍රතිපත්තිවලට බලපෑම් කළ හැකි, බලවත්, ස්වයංපෝෂිත ආයතනයක් ලෙස ‘ගැඹුරු රාජ්‍ය යේ’ නිලධාරිවාදී ආකෘතිය හඳුනා ගැනීම මෙහි ප්‍රවේශයයි. මෙම මතයට අනුව, රාජ්‍ය ආයතන සහ නිලධාරීන් ඔවුන්ගේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා දේශපාලන වෙනස්කම්වලට විරුද්ධ විය හැකි ය.

3. කුමන්ත්‍රණ න්‍යාය

කවුරුන් ප්‍රජාතන්ත්‍රීය හෝ නොවන ලෙස යම් රාජ්‍යයක රාජ්‍ය බලය ලබා ගනු ලැබුවද, එය ස්ථාවරව පැවතීම හෝ නොපැවතීම තීරණය කිරීමට කුමන්ත්‍රණකාරී ලෙස සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන කණ්ඩායමකට හැකි බව මෙහි සරල අරුතයි. එය ප්‍රමාණාත්මකව කුඩා වීම හෝ මහා පරිමාණ විය හැකිය. එහි නියෝජනය දේශපාලන තන්ත්‍ර යේ සිට රාජ්‍ය නිලධාරීන්, මිලිටරි නායකයින්, බහු ජාතික සමාගම් ආදිය දක්වාම ඇතැම්විට භූ ගෝලීය සීමාවන් අභිබවා පැවැතිය හැකි ය. එහෙත් සමහර විද්වතුන් තර්ක කරන්නේ ගැඹුරු රාජ්‍යය යනු දේශපාලන වෙනස්කම් අපේක්ෂිත ප්‍රතිසංස්කරණවලට තුඩු නොදෙන්නේ මන්දැයි පැහැදිලි කිරීමට ජනප්‍රියවාදී ව්‍යාපාර විසින් භාවිතා කරන ආඛ්‍යානයක් පමණක් බවයි. කෙසේ වෙතත්, එය එය බුද්ධි අංශ, ආයතනික අවශ්‍යතා හෝ ගෝලීය ප්‍රභූන් විසින් රහසිගතව පාලනය කරනු ලබන රජයක් ලෙස නිරූපණය කෙරෙයි.

4. ව්‍යුහවාදී සහ මාක්ස්වාදී දැක්ම

ඇතැම් මාක්ස්වාදී විද්වතුන් තර්ක කරන්නේ “ගැඹුරු රාජ්‍යය” යනු ධනේශ්වර රාජ්‍යයන් ප්‍රභූ ආර්ථික අවශ්‍යතා සඳහා සේවය කරන ආකාරය සඳහා තවත් නමක් පමණක් බවයි. රහස් ජාලයකට වඩා, එය ආයතන ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත මත ධනවාදය ආරක්ෂා කරන ආකාරය පිළිබිඹු කිරීමකි. එනම් එහි ප්‍රමුඛතම කාර්ය ආණ්ඩු මාරු කිරීම හෝ යම් යම් කුමන්ත්‍රණකාරී ක්‍රියා මඟින් තර්ජනයක් විය හැකි පුද්ගලයින් හෝ සංඝටක ඉවත් කිරීම වැනි කාරණා නොව කුමන කොන්දේසි තුළ වුව ධනවාදී ක්‍රමය තවදුරටත් පවත්වා ගැනීමය. ධනවාදී ක්‍රමයේ පැවැත්මට අභියෝගයක් වන තැනකදී පමණක් කොන්දේසි විරහිතව ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමය. ඇතැම්විට එය සවිඥානක ක්‍රියාවක් නොවිය හැකි ය. මන්දයත් ධනවාදය (දෘෂ්ටිවාදී සැකසුම) අවිඥානිකව ව්‍යුහගතවී ඇති නිසා ය.

මේ අයුරින් කුමන තතු යටතේ වුව, “ගැඹුරු රාජ්‍යය”තත්ත්වය යනු බල ව්‍යුහයන් අවබෝධ කර ගැනීමේ න්‍යායික රාමුවක් ලෙස හෝ වෙනස් වීමට ඇති ප්‍රතිරෝධය පැහැදිලි කිරීමට භාවිතා කරන දේශපාලන ආඛ්‍යානයක් ලෙස දැකිය හැකි ය. වඩා වැදගත් වන්නේ අප මේ දෙස බලන්නේ ශාස්ත්‍රීය හෝ දේශපාලන හෝ අන් වශයෙන් කුමන කෝණයකින්ද, යන්න ය. ලෝක ආර්ථිකය සහ ගැඹුරු රාජ්‍යය අතර සම්බන්ධය රඳා පවතින්නේ අප “ගැඹුරු රාජ්‍යය” අදහස නිර්වචනය කරන්නේ කෙසේද යන්න මතය. අප විසින් එය නිලධාරීන්, බුද්ධි අංශ සහ ප්‍රභූන්ගේ බලවත් ජාලයක් ලෙස සලකන්නේ නම්, ගෝලීය ආර්ථිකය කෙරෙහි එහි බලපෑම වඩාත් පැහැදිලි වනු ඇත.

අද වන විට ලෝකයේ කිසිදු රාජ්‍යයකට ස්වාධීනව, ස්වයංපෝෂිතව පැවතීමේ හැකියාවක් නැති තරම් ය. ඒ නිසාම ඔවුන් සියලුදෙනාම ගෝලීය මූල්‍ය ආයතන (IMF, ලෝක බැංකුව, ෆෙඩරල් සංචිතය, BIS) ආදී ව්‍යුහයන් සමඟ අත්‍යන්ත වශයෙන් බැඳී පවතියි. තිරය ඉදිරිපස මෙන්ම පිටුපසද, ආර්ථික ප්‍රතිපත්ති සකස් කෙරෙයි. ඇතැම්විට ඒවා තේරී පත් වූ ආණ්ඩු අභිබවා, භූ ගෝලීය දේශ සීමාවන් අභිබවා ක්‍රියාත්මක වෙයි. අයිසන්හවර් අනතුරු අඟවන පරිදි “මිලිටරි-කාර්මික සංකීර්ණය” අඛණ්ඩ ආරක්ෂක වියදම්, යුද්ධ සහ ආර්ථික ප්‍රතිපත්තිවලට බලපෑම් කිරීමෙන් ප්‍රතිලාභ ලබයි. බුද්ධි අංශ සහ ආර්ථික හැසිරවීමෙහිලා ප්‍රමුඛ ය. එක්සත් ජනපද බුද්ධි අංශ (CIA, NSA) ඓතිහාසිකව ගෝලීය ආර්ථිකයන් තුළ මැදිහත් වී, එක්සත් ජනපද ආයතනික අවශ්‍යතාවලට අනුග්‍රහය දක්වන කුමන්ත්‍රණ හෝ ප්‍රතිපත්තිවලට සහාය දක්වන බවට පළවන ප්‍රසිද්ධ මතය ඊට එක් නිදසුනකි. 1953දී ඉරානය, 1973දී චිලී ය, සම්බන්ධයෙන් වූ එක්සත් ජනපද ක්‍රියාකාරකම් දෙස බොහෝ දෙනකු බලන්නේ එකී මානයෙනි. කෙසේ වෙතත්, ගෝලීය ආර්ථික ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා “ගැඹුරු රාජ්‍ය” බලවේගයන්ට කොටස් වෙළෙඳපොළවල්, වෙළෙඳ ප්‍රතිපත්ති සහ ගුප්ත කේතන මුදල් පවා හැසිරවිය හැකි බැව් දැන් දැන් බොහෝදෙනා පිළිගනී.

නිදහස් වෙ‍ෙළඳාම සහ නියාමනය ජාතික ආර්ථිකයට වඩා බහුජාතික සමාගම්වලට අනුග්‍රහය දක්වන බැවින් ගෝලීයකරණයෙන් ගැඹුරු රාජ්‍ය ප්‍රතිලාභ ලබයි. ගැඹුරු රාජ්‍යයට මූල්‍ය පාලනය, බුද්ධි මෙහෙයුම් සහ ආයතනික බලපෑම හරහා ලෝක ආර්ථිකයන් හැඩගැස්වීමේ සෘජු භූමිකාවක් ඇත. මෙම බලපෑමෙන් සමහරක් ව්‍යුහාත්මක වන අතර (නිලධාරිවාදය සහ ධනවාදය වැනි), ඇතැමුන් තර්ක කරන්නේ එය බලය පවත්වා ගැනීම සඳහා හිතාමතා හැසිරවීමක් පමණක් බවයි.

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT