Tuesday, April 22, 2025
Home » පැණි තිත්ත කරන හෝඩුවාවක්

පැණි තිත්ත කරන හෝඩුවාවක්

by sachintha
February 12, 2025 1:43 am 0 comment

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සොයාගෙන ඇති ආකාරයට, මී මැස්සන් වැනි පරාග වාහකයින්ට මල වටා ඇති විදත් ක්ෂේත්‍ර වෙනස්වීම් හඳුනාගත හැකි නිසා, ඔවුන් පොහොර හෝ පළිබෝධනාශක ඉසිනු ලැබ ඇති මල් මත වැසීමට ඇති ඉඩකඩ අඩුයි.

කෘෂි රසායන යෙදීම මගින් පුෂ්පමය ඉඟි (floral cues)විකෘති කළ හැකි බවත්, මී මැස්සන් වැනි පරාග වාහකයින්ගේ චර්යා වෙනස් කළ හැකි බවත් අධ්‍යයන මගින් තහවුරු කරන බව The Ecologist සඟරාව පෙන්වා දෙනවා.

බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් සොයාගෙන ඇති ආකාරයට, මී මැස්සන් වැනි පරාග වාහකයින්ට මල වටා ඇති විදත් ක්ෂේත්‍ර වෙනස්වීම් හඳුනාගත හැකි නිසා, ඔවුන් පොහොර හෝ පළිබෝධනාශක ඉසිනු ලැබ ඇති මල් මත වැසීමට ඇති ඉඩකඩ අඩුයි. රසායනික දියර ඉසීමට නිරාවරණය වීමෙන් පසු මල් වටා ඇති විදත් ක්ෂේත්‍රය මිනිත්තු 25ක් දක්වා කාලයක් වෙනස්වීමට ලක්වන බව, එම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා.

සුළඟ නිසා ඇතිවන ස්වාභාවික අඩුවැඩිවීම්වලට වඩා, මෙම රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන බලපෑම අවසානයේ සැලකිය යුතු තරම් ප්‍රමාණයකට දීර්ඝ වන අතර, සොබාදහම තුළ මී මැස්සන් පෝෂණයවීම අඩු කරනවා.

මලෙහි පෙනුම හා ගන්ධය කෙරෙහි පොහොර බල නොපාන නමුත්, ක්ෂේත්‍රයේ යොදා ඇති පොහොර හා පළිබෝධනාශක මගින් මල් විදත් ලෙස හැසිරවීමෙන්, එම විදත් වෙනස් කිරීම් මල් අනුකරණය කරන බව බිස්ටල්හි School of Biological Sciences හි ආචාර්ය Ellard Hunting සහ ඔහුගේ කණ්ඩායම සඳහන් කරනවා.

පුෂ්පමය විදත් ඉඟි (floral electrical cues)හඳුනාගැනීමට උත්සාහ කරන මී මැස්සන්ට ‘පොහොර’ යනු ඊට අකුල් හෙළන ප්‍රභවයක්.

රසායනික ද්‍රව්‍ය නිසා ඇතිවන කුඩා හා ගතික විදත් ක්ෂේත්‍ර වෙනස්වීම් හඳුනාගෙන, ඒවාට එරෙහිව වෙනස් ලෙස කටයුතු කිරීමට බඹරුන්ට හැකි වූ බව මෙම අධ්‍යයනයෙන් පෙන්වා දෙනවා.

“රසායන ද්‍රව්‍ය විෂ සහිත බව අපි දන්නවා. නමුත් ශාක හා පරාග වාහකයින් අතර ක්ෂණික අන්තර් ක්‍රියාකාරීත්වයකට ඒවා බලපාන ආකාරය ගැන අපි දන්නේ බොහොම අල්ප වශයෙන්.” ආචාර්ය Ellard Hunting සඳහන් කරනවා.

මල් සතුව, පෝෂණය හා පරාගනය ප්‍රවර්ධනය කිරීම සඳහා මී මැස්සන් ආකර්ෂණය කරන පුෂ්පමය ඉඟි රැසක් තිබෙනවා. උදාහරණයක් වශයෙන්, මී මැස්සන් මල්වල ගන්ධය හා වර්ණය වැනි උත්තේජක භාවිත කරන නමුත්, ඔවුන් ශාක හඳුනාගැනීමට විදත් ක්ෂේත්‍රද භාවිත කරනවා.

කෘෂි රසායනික යෙදවුමක් මගින් පුෂ්පමය ඉඟි විකෘති කිරීමට සහ මී මැස්සන් වැනි පරාග වාහකයින්ගේ චර්යා වෙනස් කිරීමට හැකිවීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

එමතු නොව, නැනෝ අංශු, බැහැර කරන විෂ වායු, නැනෝ ප්ලාස්ටික් හා වෛරස් අංශු බඳු වායු ගෝලයේ ඇති විවිධ වෙනත් අංශු, ඒ හා සමාන බලපෑමක් ඇති කළ හැකි අතර, පරිසරයේ සෑම තැනකම පාහේ ඇති විදත් ක්ෂේත්‍ර භාවිත කරන පුළුල් පරාසයකට අයත් ජීවීන්ට මේවා බලපානවා.

“මෙම අධ්‍යයනය වැදගත් වන්නේ, එය පොළොවෙහි වසන සතකුගේ විදත් සංවේදනාවලට මැදිහත්වන මානව ‘හඬ’ (anthropogenic ‘noise’)පිළිබඳව හඳුනාගත් පළමු උදාහරණය වීම නිසයි.” බ්‍රිස්ටල්හි Sam England සම කර්තෘවරයා පැහැදිලි කරනවා.

බොහෝ දුරට එය, මාළුන්ට තමන්ගේ විලෝපිකයින් හඳුනාගැනීමට ඇති හැකියාවට බාධා කරන යාන්ත්‍රික බෝට්ටු ශබ්දය හෝ සලබයින් ව්‍යාකූල කරන රාත්‍රියේ කෘත්‍රිම ආලෝක ධාරා වගෙයි. පොහොර යනු, පුෂ්පමය විදත් ඉඟි හඳුනාගැනීමට උත්සාහ කරන මී මැස්සන්ට බාධා ඇති කරන ප්‍රභවයක්.

“මෙම සොයා ගැනීම, මිනිස් ක්‍රියාකාරකම් ස්වාභාවික ලෝකයට අහිතකර ලෙස බලපාන බහු විධ මාර්ග ගැන අපේ අවබෝධය පුළුල් කරනවා, එය යම් කනගාටුවකට හේතුවන නමුත්, මෙම රසායනික ද්‍රව්‍ය මී මැස්සන්ට ඇති කළ හැකි අහිතකර බලපෑම් වැළැක්වීම සඳහා වන විසඳුම් හඳුන්වා දීමට හෝ සොයා ගැනීමට එය ඉඩ සලසා දෙනු ඇති. ජීවියෙක් තමන්ගේ භෞතික පරිසරය වටහා ගන්නා ආකාරයට මැදිහත්වීමෙන් පරාග වාහකයින්ගේ චර්යාවලට පොහොර බලපාන බවට, මිනිසා විසින් නිපදවන ලද රසායනික ද්‍රව්‍ය ස්වාභාවික පරිසරයට බාධා කරන ආකාරය ගැන නව පර්යාවලෝකයක් ඉදිරිපත් කරනවා.” ආචාර්ය Ellard Huntingවැඩිදුරටත් පෙන්වා දෙනවා.

Brendan Montague විසින් The Ecologis t සඟරාවට ලියන ලද Fertilizers and pesticides ‘confuse bees’ ලිපිය ඇසුරෙනි.

ප්‍රභාත් චින්තක මීගොඩගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT