තඹුත්තේගම නගරයට කිලෝ මීටර් දහයක් පමණ ගල්ගමුව දෙසට වන්නට පිහිටි “හත්ථිකුච්චි” පුරාවිද්‍යා භූමිය සංචාරක ආකර්ෂණය ඉහළ යනසේ සංවර්ධනය කරදෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලීම් කරනුයේ කලක සිටය. එහෙත් තවමත් ඒ කෙරෙහි වගකිවයුතු කිසිවෙකුගේ හෝ නිසි අවධානයක් යොමුවී නැති බව ප්‍රදේශවාසීහු පවසති. මහගල්කඩවල හන්දියෙන් දකුණු දෙසට ඇති කාපට් ඇතිරූ මාර්ගයේ කිලෝ මීටර් තුනක් පමණ ගිය විට මෙම විහාර ආරාම භූමිය දැකගත හැකිවේ. මෙම භූමිය ඓතිහාසිකව වටිනා ස්ථානයක් සේ තහවුරු වී ඇතත් තවමත් ඒ සඳහා ඇති දෙස්, විදෙස් ආකර්ෂණය ඉතාමත් අල්ප වී තිබේ. මෙම භූමියට ඉඳහිට හෝ එන උදවියට ඕලු, නෙළුම් ආදි මල් විකුණා මුදලක් ඉපයීමට වෙහෙසෙන “ලලිත් කුමාර මහතා” පැවසුවේ මෙවැනි අදහසකි.
“සතියේ දවස්වලට නම් මෙතැනට කවුරුවත්ම එන්නේ නෑ. ඉරිදා, සෙනසුරාදා දවස්වලට ඉඳලා හිටලා බස් එකක්, දෙකක් එනවා. අඩුම තරමින් මෙතැනට එන පාර පටන් ගන්න මහගල්කඩවල හන්දියේ මෙහෙම තැනක් තියෙනවා කියලා මිනිස්සුන්ට පේන්න දැනුම්වත් කිරීමක්වත් නෑ. මෙතැන පුදුම වටිනාකමක් තියෙන තැනක්. බලන්න පුදුම තරම් දේවල් මෙතැන තියෙනවා. අනුරාධපුරේට යන කට්ටිය මෙතැනටත් බොහොම ලේසියෙන් ගෙන්න ගන්ඩ පුලුවන්. ඒත් කාටවත් ඒකට උනන්දුවක් නෑ.”
මෙම පුරාවිද්‍යා භූමියට යාබද වනසේ මෑතකදී ආරම්භ කළ විහාරස්ථානයක්ද දැකගත හැකිව ඇත. එහි ඇති පහසුකම් ද ඉතා අවම වී තිබේ. මෙම භූමිය තුළ ගිරිබාව ප්‍රාදේශීය සභාව මඟින් ඉදිකොට දී ඇති කුඩා අලෙවි සල් තුළට වී ජීවනෝපාය සරි කිරීමට වෙහෙසෙන ගැමියෝ පිරිසක්ද වෙති. පලතුරු, එළවළු, අත්කම් නිර්මාණ, නෙළුම් මල් ආදිය අලෙවි කරමින් ඔවුහු එදිනෙදා ජීවිතය ගෙනයෑමට වෙහෙසෙති. එවැනි වෙළෙඳසලකට වී සියතින් වියන ගමන් මලු ආදි විසිතුරු අත්කම් නිර්මාණ විකිණීමට වෙහෙසෙන ඩබ්ලිව්.එම්. කුසුමාවති මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි මෙතැනට වෙලා හිටියට ලොකු ආදායමක් නෑ. මෙතැන ප්‍රාදේශීය සභාවෙන් හදපු කඩ කෑලි පනහක් විතර තියෙනවා. ඒවයින් වැඩි හරියක් වැහිලා තියෙන්නේ. ආදායමක් නැතිව නිකං ඉන්න එකේ තේරුමක් නැති නිසා ගොඩක් අය මෙතැනට එන්නේ නෑ. ඉස්සරහටත් මෙතැනට මිනිස්සු අවේ නැත්නම් අපිටත් සිද්ද වෙන්නේ මේ කඩකෑලි වහලා දාලා ගෙවල්වලට වෙලා ඉන්න.”
සති අන්තයේ සහ පොහොය දිනවලදී සිය කුඩා දියණියන් දෙදෙනා ද සමඟ මෙහි එන “එම්. සුමනාවති” මහත්මිය ද දවසේ වියදම සොයාගැනීමට වෙහෙසෙන්නීය. මල් කිහිපයක් හෝ විකුණා ගැනීම ඇගේ අපේක්ෂාව වී තිබේ. එහෙත් බොහෝ දවස්වල ඒ බලාපොරොත්තුව කඳුලක බොඳවී යයි. ඇය පැවසුවේ මෙවැනි කතාවකි.
“මෙහේ ගම්වල ගොඩක් අය හේන් ගොවිතැන් කරලා ජීවත් වෙන්නේ. දැන් හේන්වලින් ආදායමක් ගන්න එකත් ලේසි නෑ. එහෙන් සත්තුන්ගේ කරදර. සමහර කාලවලට වැස්ස වැඩියි. තවත් කාලෙකට පෑවිල්ල. දුවලට ඉස්කෝලේ නැති දවස්වලට මේ දෙන්නත් එක්ක මං මෙතැනට එන්නේ කීයක් හරි හොයාගන්ඩ.”
මේ කෙරෙහි කඩිනම් අවධානය යොමුකර සංචාරක අවධානය යොමුවනසේ මෙම භූමිය සංවර්ධනය කරදෙන ලෙස ප්‍රදේශවාසීහු රජයෙන් ඉල්ලා සිටිති.
තඹුත්තේගම විශේෂ – ඩබ්ලිව්. ප්‍රදීප්