Home » ටවර් හෝල් නාට්‍ය උලෙළ 2025 අද ඇරඹේ

ටවර් හෝල් නාට්‍ය උලෙළ 2025 අද ඇරඹේ

by sachintha
February 11, 2025 2:08 am 0 comment

දේශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා ටවර් හෝල් රඟහල පදනම මඟින් ක්‍රියාත්මක කෙරෙන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍යය උලෙළ 2025, මරදාන එල්පින්ස්ටන් රඟහලේ දී සහ ටවර් රඟහලේදී අද සිට 20 වැනිදා දක්වා පස්වරු 3.30ට සහ 6.30ට පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම හා පුළුල් ප්‍රචාරයක් ලබා ගැනීම පිණිස නාට්‍යකරුවන්, රංගන ශිල්පීන්, කලාකරුවන්, ටවර් හෝල් රඟහල පදනම කාර්යමණ්ඩලය හා ටවර් නාට්‍ය හා රංග කලා පාසලේ විද්‍යාර්ථයන් ඇතුළු පන්සිය දෙනකුගේ සහභාගිත්වයෙන් නාට්‍ය පෙරහරක් ඊයේ (10) පවත්වනු ලැබීය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා මෙසේ ද පැවසීය. ටවර් හෝල් රඟහල පදනම පස්වැනි වරට සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා නාට්‍ය මංගල්‍යය ටවර් නාට්‍ය උලෙළ පෙබරවාරි 11 වැනිදා සිට 20 දින දක්වා පැවැත්වේ.

මෙවර නාට්‍ය උලෙළේ විශේෂත්වය වන්නේ දිගු නාට්‍ය දාහතරක්, කෙටි නාට්‍ය දොළහක්, ළමා නාට්‍ය, පාසල් සිසුන් සඳහා අවශ්‍ය විෂය නිර්දේශයට අදාළ වන නාට්‍ය, ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ නාට්‍ය, විදේශ නාට්‍ය මෙම උලෙළ නියෝජනය කරයි. මේ සියලුම නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළේ අවසන් වටය නියෝජනය කළ ජාතික යෞවන සම්මාන උලෙළ අවසාන වටය නියෝජනය කළ හෝ විදේශ නාට්‍ය නියෝජනය කළ නාට්‍යයි. එවැනි නාට්‍යය 34ක් මෙවර නාට්‍ය උලෙළට තෝරාගෙන තිබේ. පෙබරවාරි මාසයේ ලංකාවේ පවත්වන පළමුවන ප්‍රධාන පෙළේ නාට්‍ය උලෙළ මෙයවේ.

මෙය රස විඳීම සඳහා වන නාට්‍ය උලෙළකි. තරගකාරී මානසිකත්වයෙන් තොරව නාට්‍යයක් රස විඳින්න ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරයට ගෙන්වා ගන්න නාට්‍ය නිර්මාණකරුවා නාට්‍ය නිර්මාණයට පෙලඹවීම සහ ඔහු තුළ උත්තේජනයක් ඇති කිරීම මේ නාට්‍ය උලෙළේ පරමාර්ථය වේ.

ටවර් හෝල් රඟහල පදනමේ අරමුණක් වන වේදිකා නාට්‍ය ප්‍රවර්ධනය කිරීම සහ සමාජගත කිරීම මේ උත්සාහයේ තවත් වැදගත් අරමුණකි.ටවර් හෝල් රඟහල පදනම මෙවර නාට්‍ය උලෙළ සඳහා ලක්ෂ තිහකට අධික මුදලක් වැය කර ටවර් රඟහල සහ එල්ෆීස්ටන් රඟහල යන නාට්‍ය ශාලාවන් දෙකම මේ දින දහය පුරාවටම නොමිලේ ලබා දීලා ප්‍රේක්ෂකයින්ට රුපියල් 400ක් වැනි මුදලකට ඕනෑම නාට්‍යයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දී ඇත. තරුණ වැඩිහිටි මහලු සියලු දෙනාට රස විඳිය හැකි නාට්‍ය ගොනුවක් තෝරලා දීලා මෙවර නාට්‍ය උලෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ. නාට්‍ය තෝරා ගැනීමේදී සුදුසුකම් සහිත නාට්‍ය තෝරාගෙන තිබෙනවා.

නාට්‍ය පැවැත්වෙන සෑම දිනකම ටවර් නාට්‍යකරුවන් දෙදෙනෙකුට උපහාර තිළිණ සහ මූල්‍ය ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත. මේ මහා නාට්‍ය මංගල්‍යයට සියලු දෙනාගේ සහභාගිත්වය අපේක්‍ෂා කරයි.

මෙහිදී අදහස් දැක්වූ නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති ප්‍රසන්නජිත් අබේසූරිය මහතා

අපේක්‍ෂා නාට්‍ය උලෙළ ලංකාවේ පැවැත්වෙන වැදගත්ම නාට්‍ය උලෙළකි. රාජ්‍ය නාට්‍ය උලෙළ යෞවන සම්මාන ලෙස නාට්‍ය උලෙළ හැඳින්නුවත් අපේක්‍ෂා නාට්‍ය උලෙළ කියන්නේ පැහැදිලිවම නාට්‍ය කලාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රේක්ෂකයා නාට්‍ය කලාවට ආකර්ෂණය කර ගැනීම සඳහා පැවැත්වෙන නාට්‍ය උලෙළයි.

නෙරංජලා වික්‍රමසිංහ

ඡායාරූප – හිරන්ත ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT