අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන පරිදි මහනුවර නගරය සංවර්ධනය කරන බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග කටයුතු පිළිබඳ ඇමැති, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.
මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ 52 වැනි සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේ පැවැති උත්සවයේ දී ඇමැති ලාල්කාන්ත මහතා මෙසේද පැවසුවේය.
නූතන මහනුවර නගරය ගොඩනැගී ඇත්තේ දැඩි අපිළිවෙළකට බව නගරයේ සැරසරන ඕනෑම අයෙකුට පෙනී යනවා. වාහන තදබදය, අක්‍රමවත් ඉදි කිරීම් ඇතුළු ගැටලු ගණනාවක් හේතුවෙන් මෙම තත්ත්වය නගරයට අත්ව තිබෙනවා.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එම සැලැස්ම සම්බන්ධ විශේෂ සාකච්ඡාවකට මෙම මස 14 වැනිදා නාගරික සංවර්ධන ඇමැතිවරයා මහනුවරට පැමිණෙනවා. මහනුවර නගරය සිටින ප්‍රබලම, වැදගත්ම හා වටිනාම කණ්ඩායම ව්‍යාපාරික ප්‍රජාවයි. අවාසනාවකට මහනුවර නගර සංවර්ධන සැලැස්ම මේ ව්‍යාපාරික ප්‍රජාව දැකලාවත් නැහැ. අපි නගරය සංවර්ධනය කරන්නේ සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබා ගෙනයි. නූතන මහනුවර නගරය ගත්තම අතීත ශ්‍රී විභූතිය මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. අද නගරය මැද වැටවල් ගහලා. ඒ හරක් පනින නිසා නෙවෙයි. මේ වැටවල්වලින් පෙන්නුම් කරන්නේ අපේ චර්යාවන්ගේ දුප්පත්කමයි. නගරයේ පාරවල් සියල්ල රථ වාහන ගාල් කරන ස්ථාන බවට පත්වෙලා. සමහරු කොටු ගහලා නගරයේ පාරවල් පාකිංවලට වෙන්කර ගෙන. සමහර ව්‍යාපාරිකයෝ තමන්ගේ වෙළෙඳ ස්ථානය ඉදිරිපිට වාහනය උදේ 8.00ට නතර කරලා රෑ 8.00 වෙනකල් තියා ගන්නවා. නගරය විධිමත් ලෙස සංවර්ධනය කරන විට අපිට ඔබේ සහය අවශ්‍යය යි.
මේ වසරේ මැතිවරණ කිහිපයක් පැවැත්වෙනවා. මේ වන විට පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් නොමැතිව පවත්වාගෙන යන්නේ නිලධාරීන්. නිලධාරීන්ට ඕන විදිහට තමයි වැඩ සිද්ධ වෙන්නේ. ඒක ඔච්චර හොඳ නැහැ. නිලධාරින් වගේම මහජන නියෝජිතයිනුත් ඉන්න ඕනෑ. ඒ වගේම මේ වසරේ තවත් වැදගත් ඡන්දයක් පැවැත්වෙනවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරන ඡන්දය. ඒකත් විශාල අවධානයක් දිනා ගන්නා ඡන්දයක්. මහනුවර නගරයට සංචාරකයින් පැමිණිනුනත් ඔවුන් දිනකට වඩා නගරයේ රැඳී සිටින්නේ නැහැ. අඩුම තරමින් දින තුන හතරක් සංචාරකයින් මහනුවර රඳවා ගන්නේ කොහොමද කියන එක අපි කල්පනා කර බැලිය යුතුයි.
මෙහි දී අදහස් දැක් වූ සිංහල වෙළෙඳ පෙරමුණේ සභාපති යසස් චන්ද්‍රසේකර මහතා අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. සිංහල වෙළෙඳ ව්‍යාපාරිකයන් සෑම විටම ජාතික හා පොදු ප්‍රශ්නවල දී දෙමළ හා මුස්ලිස් ව්‍යාපාරික සංගම් සමඟ එකට එකතු වී ක්‍රියාකර රටට ආදර්ශයක් ලබා දී තිබෙනවා. 1983දී මෙන්ම 2018දී දිගන ආශ්‍රිතව ඇති වූ ජාතිවාදී ගැටුම් සමතයට පත් කිරීමටත් ඉන් පීඩාවට පත් දෙමළ හා මුස්ලිම් ප්‍රජාවට ව්‍යාපාර යළි ගොඩනගා ගැනීමට සහය දැක්වීමට අප සංගමය කටයුතු කළා.
සිංහල වෙළෙඳ පෙරමුණේ සාර්ථකත්වය සඳහා කැපවීම් කළ ව්‍යාපාරික ප්‍රජාව අගයමින් ඔවුන්ට තිළිණ ප්‍රදානය කිරීමක් ද මෙහි දී සිදු කෙරුණි.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා, ඒ.අයි.ඒ. රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චතුරි මුණවීර, සිංහල වෙළෙඳ පෙරමුණේ ලේකම් නදීජ වීරරත්න, භාණ්ඩාගාරික ජගත් සමරසිංහ, සංවිධායක ලාල් හඳපාන්ගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
අසේල කුරුළුවංශ