Home » කොළඹ ලැගුම්හලකදී මියගිය විදේශීය කාන්තා දේහයන්ගේ මරණ පරීක්ෂණ සිදු කිරීමට නියෝග

කොළඹ ලැගුම්හලකදී මියගිය විදේශීය කාන්තා දේහයන්ගේ මරණ පරීක්ෂණ සිදු කිරීමට නියෝග

by yasara
February 10, 2025 3:31 pm 0 comment

කොළඹ මිරකල් කලම්බු සිටි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටියදී හදිසියේ රෝගී වී   පසුගිය 1 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය බ්‍රිතාන්‍ය ජාතික 24 හැවිරිදි එබනි මැකින්ටොෂ්ගේ සහ ජර්මානු ජාතික 27 හැවිරිදි රගුස් නෙදීන්ගේ මරණ පරීක්ෂණය පැවැත්වීමට අද (10) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කළාය.

කොල්ලුපිටිය පොලිසිය විසින් සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරිය මේ නියෝගය සිදු කළාය.

එම සිද්ධියෙන් අනතුරුව රෝගී වූ විදේශ ජාතිකයා ප්‍රතිකාර ලබා කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් ඇති බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය 27 හැවිරිදි රගුස් නෙදීන්ගේ මරණ පරීක්ෂණය කර මෘත දේහය ජර්මනියට එවන ලෙස ඇයගේ මව මෙරට ජර්මානු තානාපති කාර්යාලය හරහා පොලිසියට දැනුම් දී තිබෙන බවත් රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මියගිය 24 හැවිරිදි එබනි මැකින්ටොෂ්ගේ මව දේහය බාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මෘත ශරීර දෙකෙහි මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය නියෝග ලබාදෙන ලෙස පොලිස් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොළඹ මිරකල් කලම්බු සිටි නේවාසිකාගාරයේ එකම කාමරයේ නවාතැන් ගැන සිටි විදේශිකයන් තිදෙනකු මෙලෙස පසුගියදා හදිසියේ රෝගාතුර වූ අතර ඉන් පිරිමි පුද්ගලයා හැර කාන්තාවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේදී මරණයට පත්විය.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය

(සුභාෂිණී සේනානායක )

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT