Sunday, April 20, 2025
Home » හැම කටහඬක්ම ආදරණීයයි

හැම කටහඬක්ම ආදරණීයයි

by sachintha
February 10, 2025 1:07 am 0 comment

කවදහරි දැනිලා තියෙනව ද ජීවිතේ ගොඩක්කල් කතාබහ කරපු කෙනෙක් ආයෙමත් කාලයක් කතා නොකර ඉන්නකොට දැනෙන පාළුව? කොයි වෙලාවකහරි ආයිමත් ඒ හඬ ඇහෙයි කියන බලාපොරොත්තුව? හැම කටහඬකම තියෙනවා බලාපොරොත්තුවක්.

හුඟක් ළඟ කෙනෙක්, ආදරේ කරන කෙනෙක් කතා කරනවා, ඇස් පියාගෙන අහගෙන ඉද්දි දැනෙන හැඟීම මෙහෙමයි කියලා විස්තර කරන්න කාටහරි පුළුවන් ද? දහස් ගාණක් සද්ද අතරේ ඒ ආදරණීය හඬ ඇඳුරගන්න යන්නේ කොයි තරම් පුංචි කාලයක් ද? කොයිතරම් දේවල් කතා කළත්, තව කතා කරන්න කොයිතරම් දේවල් ඉතුරු ද කියල දැනුණු වෙලාවල් ජීවිතයේ කොයිතරම් තියෙනව ද?

ජීවිතයේ මනුස්සයෙක් ආදරේ කරන කටහඬවල් ගොඩක් තියෙනවා. ආදරේ කරන ගායකයකුගේ, ගායිකාවකගේ වෙන්න පුළුවන්, කලබල වෙලාවක හිත සන්සුන් කරගන්න තනිවෙන තැනක තියෙන ඇළක, දොළක, ගහක- වැලක හඬක් වෙන්න පුළුවන්. කතා කරන්න වචන දන්නේ නැති සතකුගේ ආදරණීය බැල්මක් වෙන්නත් පුළුවන්. ඔය හැමදෙයක්ම ඇතුළේ අපට දැනෙන කොයිතරම් දේවල් වෙනස් කරන්න පුළුවන් ද?

සමහරවිට එකම එක ආදරණීය වචනයක් වෙන්නත් පුළුවන්. ඔව්, එකම එක වචනයක්. අන්න ඒ නිසා කිසිම වේලාවක ඒ වචනය කියන එක මඟහරින්න එපා. ඒක මනුස්සයකුගේ ජීවිතයේ තීරණාත්මක වචනයක් වෙන්න පුළුවන්. සමහර මඟඇරණු දුරකතන ඇමතුමක් ජීවිතයේ ආයෙමත් කවදාවත් අහන්න බැරි වෙන කටහඬක් බවට පත්වෙච්ච කතා මේ ලෝකේ ඕනතරම් තියෙනවා. එක දුරකතන ඇමතුමකට පිළිතුරු දීලා වචනයක්වත් කතා කරන්නැතුව අනිත් පැත්තෙන් ඇහෙන හඬ දිහා අහගෙන කඳුළු හලපු දවස් අපේ ජීවිතවල රහස් ඇතුළේ හැංඟිලා ඇති. ඒ හින්දයි ජීවිතයේ සමහර ප්‍රශ්නවලදී උත්තර වෙනුවට අහගෙන ඉන්න පුළුවන් කෙනෙක් අපට ඕන කරන්නේ.

“දැන් ඔය කතාව නවත්තමු” කියලා කවදාහරි කාටහරි කියලා තියෙනවද? හේතුව මොකක් වුණත්, ඒ නැවතුණු කතාව නෙවෙයි, ඒ හඬ කවදාහරි ආයෙම අහන්න ඕනෙකම කවදාහරි දැනිල නැද්ද?

ඒ නිසා ඔබව දැනුණු මනුස්සයකුට, ඔබව දැනෙන මනුස්සයකුට ඔබේ කටහඬ මඟහැරෙන්න දෙන්න එපා. හැම කටහඬක්ම බලාපොරොත්තුවක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT