Home » රට පුරා විදුලිය බිඳ වැටෙයි: පැය කිහිපයකින් යථා තත්ත්වයට

රට පුරා විදුලිය බිඳ වැටෙයි: පැය කිහිපයකින් යථා තත්ත්වයට

by sachintha
February 10, 2025 1:05 am 0 comment

විදුලි පද්ධතිය බිඳ වැටුණේ පසුගිය රජයන්ගේ සැලසුම් රහිත අදූරදර්ශී වැඩපිළිවෙළ නිසයි

-බලශක්ති ඇමැති කුමාර ජයකොඩි

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාව පවත්වාගෙන යාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර නොමැති බවත් පසුගිය රජයන්ගේ සැළසුම් රහිතකමත් අදූරදර්ශී වැඩපිළිවෙළත් රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුවූ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පෙන්වා දෙයි.

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇති ඇතිවූ හදිසි ආපදා තත්ත්වයක් බවත් පානදුර ග්‍රිඩ් උපපොළෙහි ඇතිවූ එම ගැටලුවත් සමඟ ජාතික විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවක් හේතුවෙන් දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටුණු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි හොඳින් සැලකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කලාපයන්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නොමැති දුර්වල මඟ පෙන්වීමත් මෙම තත්ත්වය උදාකරන්නට හේතුවූ බව මූලික විමර්ශනවලින් පෙනී යන බව ද ඇමැතිවරයා කියා සිටියේය. නමුත් මෙම තත්ත්වයට හේතු වූ කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්ත්වයක් උදා නොවීමට පියවර ගන්නා බවත් විදුලිය බිඳ වැටීම හේතුවෙන් අපහසුතාවට පත්වූ ජනතාවට කනගාටුව ප්‍රකාශ කරන බවත්, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කරන්නට වෙහෙසුණු සහ සහයෝගය දුන් සියලු දෙනාටත් ස්තුති වන්ත වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (09) පෙරවරු 11.15ට පමණ දිවයින පුරා මෙම විදුලි බිඳවැටීම සිදුව තිබූ අතර විදුලි ඉංජිනේරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වහා එය ක්‍රමක් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි. විදුලිය බිඳ වැටුණු වහාම කොළඹ ජාතික රෝහල, අඹතලේ ජල පවිත්‍රාගාරය, සපුගස්කන්ද සහ බියගම ඇතුළු ස්ථාන කිහිපයක් යථා තත්ත්වයට පත් කිරීමට ද කටයුතු කර තිබුණි. විදුලි බිඳවැටීම හේතුවෙන් ජල පොම්පාගාරවල සිට ජලය බෙදාහැරීමේ කටයුතුවලට බාධා පැමිණි බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

විදුලි බිඳ වැටීම හේතුවෙන් දුම්රිය හරස් මාර්ග ආශ්‍රිත සංඥා පද්ධති ක්‍රියාත්මක වීමේ ගැටලු ඇතිව තිබූ අතර එම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතුවලට ද සුළු වශයෙන් බාධා එල්ල වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විදුලිය බිඳ වැටීම හේතුවෙන් දුම්රිය ස්ථානවල නිවේදන කටයුතුවලට ද බාධා එල්ල වී තිබූ අතර අන්තර්ජාල සබඳතා සක්‍රීයකර ගැනීමට ද ගැටලු මතුව තිබුණි. විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

රක්ෂණ ශ්‍රියන්ත, අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT