Home » තලවකැලේ ග්‍රාමීය බැංකු 11ක් වතු කම්කරුවන්ගේ කෝටි 100කට විදලා

තලවකැලේ ග්‍රාමීය බැංකු 11ක් වතු කම්කරුවන්ගේ කෝටි 100කට විදලා

-CID යට පැමිණිල්ලක්

by sachintha
February 10, 2025 1:05 am 0 comment

සේවක අර්ථසාධක අරමුදලින් ලබාදෙන, 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීමට ව්‍යාජ ලියවිලි ඉදිරිපත් කර, තලවකැලේ නව විවිධ සේවා සමුපකාර සමිතියට අනුබද්ධ, ග්‍රාමීය බැංකු 11ක් විසින්, වතුකම්කරුවන් 5,000කට වැඩි පිරිසකගෙන්, රුපියල් කෝටි 100කට අධික මුදලක් වංචා කර ඇති බව වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්, මාක්ස් ප්‍රභාකර් පවසයි. ඒ පිළිබඳ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, තලවකැලේ සමුපකාර බලප්‍රදේශයේ හා ඊට පරිබාහිර වතුකම්කරුවන්, තැරැව්කරුවන් මඟින් ගෙන්වා ගන්නා, ග්‍රාමීය බැංකු නිලධාරීන්, ඔවුන්ට බැංකු ගිණුමක් ආරම්භ කර, සුළු ණය මුදලක් නිකුත් කර ඇති බවත්, පසුව සේවක අර්ථසාධක අරමුදලේ 30% පූර්ව ප්‍රතිලාභ මුදල ලබා ගැනීම සඳහා, පෙර දිනයක් යොදා, සමුපකාර සමිතිය විසින් සේවක අර්ථසාධක අරමුදලට ව්‍යාජව සකස් කළ ලිපියක් මඟින් අදාළ පුද්ගලයා 30% ප්‍රතිලාභයට සමාන, ණය මුදලක් ලබාගෙන ඇති බැවින්, එය පියවීම සඳහා අදාළ ප්‍රතිලාභය තම ගිණුමට බැර කරන ලෙස දන්වා යවා ඇති බවයි.

සේවක අර්ථසාධක අරමුදල විසින් එම මුදල බැංකුවට චෙක්පතකින් එවීමෙන් අනතුරුව, සම්පූර්ණ ප්‍රතිලාභයටම අදාළව විශාල පොලියක් අයකර, ඔහුට ලබාදී ඇති සුළු ණය මුදලට අදාළ පොලිය පමණක් බැංකු ගිණුමට බැර කර, ඉතිරි පොලී මුදල් බැංකු බලධාරීන් බෙදා ගෙන ඇති බව, වතු කම්කරුවන් විසින්, වතු කම්කරු මධ්‍යස්ථානය වෙත පැමිණිලි කර ඇති බවත් ඔහු පවසයි.

එසේම මෙම ගනු-දෙනුවට අදාළ ගිණුම් විස්තර, අයකරගත් පොලී මුදල සඳහන් බැංකු පාස් පොතක්, වෙනත් කුවිතාන්සියක් හෝ ලිපිලේඛන කිසිවක්, වතු කම්කරුවන්ට දී නොමැති බවත්, මෙම වංචාව සිදුකොට ඇත්තේ, තලවකැලේ නව සමුපකාර සමිතියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ පූර්ණ එකඟතාව හා මඟපෙන්වීම මත බව පෙනීයන බැවින්, රාජ්‍ය මුදල් විශාල ලෙස වංචාකිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසට, ඉකුත් 07දා තම සංවිධානය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ විගණකාධිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

හැටන් සමූහ – චන්දන ජයවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT