හොඳ තත්ත්වයේ උඳු කිලෝවක මිල රුපියල් 200ත් – 250ත් දක්වා මිල පහත වැටී ඇති බව මහවැලි එච්. කලාපයේ ගොවීහු පවසති. වැස්ස හේතුවෙන් ප්‍රමිතිය සුළු වශයෙන් පහත වැටුණු උඳු කිලෝවක් රුපියල් 80ත් – 100ත් අතර මිලකට පෞද්ගලික වෙළෙඳුන් මිලදී ගන්නා බව ඔවුහු පවසති. ඉකුත් කන්නයේ රුපියල් 550ත් – 650 ත් අතර මිලකට උඳු කිලෝවක් අලෙවි කළ බව ගොවීහු පවසති. දැඩි ලෙස මිල පහත වැටීම හේතුවෙන් කළ වියදම හෝ පියවා ගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බව ඔවුහු පෙන්වා දෙති. බිම සී සෑම, උඳු බීජ, කම්කරු කුලිය, සුනාමි කිරීම ආදි වියදම් සඳහා විශාල වැය බරක් දැරීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති.
මහවැලියේ හේන් සහ කුඹුරු ආශ්‍රිතව සමහර ප්‍රදේශවල සිදු කළ උඳු වගාවන් මුළුමනින්ම විනාශ වීම හේතුවෙන් අත්හැර දැමීමට සිදුව ඇති බව ද ඔවුහු පවසති. මල් පිපී කරල් හටගැනීම ආරම්භ වෙත්ම කලාපයේ සමහර ප්‍රදේශවල උඳු වගාවට වැස්සෙන් හානි සිදුවූ බව ගොවීහු පවසති. එච් කලාපයේ නොච්චියාගම, තලාව, තඹුත්තේගම හා එප්පාවල ආදි ප්‍රදේශවල ගොවීහු මෙවර මහ කන්නයේ උඳු වගා කර තිබේ. සිය අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීමට මැදිහත් වන ලෙස ගොවීහු රජයෙන් ඉල්ලීමක් කරති. ගොවීහු කිහිපදෙනකු මෙසේ අදහස් දැක්වීය.
“අපි හේන්වල උඳු වගා කෙරුවේ. දැන් වෙලා තියෙන්නේ දුක් මහන්සි වෙලා, වියදම් කරලා අස්වැන්න ගන්නකොට මිලක් නෑ. ගොඩක් වෙලාවට ගොවියෝ වෙච්ච අපිට මෙහෙම තමයි වෙන්නේ. හේන්වලට අලි කරදර ඉවරයක් නෑ. එහෙන් කරල් පැහීගෙන එනකොටම වැස්ස ආවා. ඒ හැමදේමත් එක්ක අස්වැන්න ගෙදරට ගේනකොට මිලක් නෑ. සමහර ගොවියෝ ඉස්සරහට හරි මිල වැඩිවෙයි කියලා හිතලා අස්වැන්න තියාගෙන ඉන්නවා. හැමෝටම එහෙම කරන්න බෑ. තියෙන ණයත් එක්ක කීයකට හරි දෙන්ඩ වෙලා තියෙන්නේ.“එප්පාවල, අධිරාණිගම ගම්මානයේ ඩබ්ලිව්. සුරවීර මහතා මෙසේ පැවසීය.
“වෙළෙන්දෝ ගෙදරටම ඇවිල්ලා කුණු කොල්ලෙට තමයි උඳු ඉල්ලන්නේ. රුපියල් 80 – 100ට තමයි වෙළෙන්දෝ ඉල්ලන්නේ. ඒ ගාණට දීලා ඇති වැඩක් නෑ. අතින් පාඩුයි. උඳු රටින් ගෙන්වලා කියලා තමයි ආරංචි. දහදුක් විඳලා ගොවිතැන් කරලා අස්වැන්න ගන්න කාලෙට මොනව හරි හෙනහුරුකමක් පාත් වෙනවා.“තලාව, කලවැල්ලෑව ගම්මානයේ ජයසේකර බංඩා මෙසේ පවසා සිටියේය.
“ණය වෙලා ගොවිතැන් කරන මිනිස්සුන්ට අස්වැන්නට හරි මිලක් නැතිවුණාම ජීවත් වෙන්න විදිහක් නැතිව යනව. මේ පාර මහලොකු අස්වැන්නකුත් නෑ. තියෙන ටිකත් තුට්ටු දෙකට දෙන්න වුණාම ඔක්කොම ඉවරයි. ගොවියන්ට දැන් වෙලා තියෙන්නේ මහන්සි වෙලා වෙළෙන්දෝ පෝසත් කරන එක විතරයි. “තලාව, දෙල්ලේගම ගම්වාසී ඩී.එම්. රණ්බංඩා පැවසුයේ මෙවැනි අදහසකි.