Home » පෞද්ගලික බස් දෙකක් මහපාර මැද ගුටි ඇනගෙන

පෞද්ගලික බස් දෙකක් මහපාර මැද ගුටි ඇනගෙන

3ක් රෝහලේ

by mahesh
February 7, 2025 1:00 am 0 comment

සොරණාතොට සමූහ - සී. ගමගේ

බදුල්ල – මහියංගණ ප්‍රධාන මාර්ගයේ කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස්රථ දෙකක රියැදුරු සහ කොන්දොස්තරවරු දෙපිරිසක් අතර ඇතිව තිබූ ගැටුමකදී කිතුල් පොල්ලකින් සහ අතින් පයින් පහරදීමෙන් තුවාල ලැබූ පෞද්ගලික බස්රථ රියැදුරන් දෙදෙනකු සමඟ කොන්දොස්තරවරයකු පෙරේදා (05) මීගහකිවුල සහ බදුල්ල ශික්ෂණ රෝහල්වලට ඇතුළත් කළ බව කන්දකැටිය පොලීසිය පවසයි.

මන්නාරම සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක සහ මහියංගණය සිට වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක රියැදුරු, කොන්දොස්තරවරුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇතැයි පොලීසිය පවසයි.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ මහියංගණයේ සිට වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයේ රියැදුරු ලෙස සේවය කළ වැලිමඩ, ගුරුතලාව, කරගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු, කොන්දොස්තරවරයා ලෙස සේවය කළ බදුල්ල, රිල්පොළ, මැදගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර, මන්නාරම සිට දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයේ රියැදුරු ලෙස සේවය කළ බණ්ඩාරවෙල, බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

මහියංගණය සිට බදුල්ල හරහා වැලිමඩ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථය පසුපසින් පැමිණි මන්නාරම සිට බදුල්ල හරහා දියතලාව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථය කන්දකැටිය 21 හංදිය ප්‍රදේශයේ දී වැලිමඩ පෞද්ගලික බස්රථය ඉස්සර කර ඉදිරියට ගොස් මග හරස්කර නවතා මන්නාරම දියතලාව පෞද්ගලික බස්රථයේ රියැදුරු, කොන්දොස්තරවරයා බසයෙන් බැස ගොස් වැලිමඩ පෞද්ගලික බස්රථ රියැදුරුට මෙසේ අතින් පයින් පොල්ලකින් පහරදී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පසුව බස්රථ දෙකේ කොන්දොස්තරවරු රියැදුරු දෙපිරිස අතර ගැටුම දුර දිග යෑමෙන් අනතුරුව මෙසේ පෞද්ගලික බස්රථ රියැදුරන් දෙදෙනකු සමඟ කොන්දොස්තරවරයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

වේලා සටහන් සම්බන්ධයෙන් මෙම පෞද්ගලික බස්රථ දෙකේ රියැදුරු කොන්දොස්තරවරුන් දෙපිරිස අතර හටගත් ආරවුලක් ගැටුමට හේතු වී ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT