11 වැනි වරටත් සිරිපා වන්දනා පාද චාරිකාව 09 වැනිදා අලුයම කෑගල්ල, අටාල, උඩුගම ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයෙන් ආරම්භ කරන බව ප්‍රධාන සංවිධායක වේදිකා, ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වන කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී හේමචන්ද්‍ර පියදාස මහතා පවසයි.
2015 වර්ෂයේ ප්‍රථම වරට කෑගල්ල, අටාල, උඩුමාගම ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයෙන් ආරම්භ කරන ලද සිරිපා වන්දනා පාද චාරිකාව කොටියාකුඹුර, අඟුරුවැල්ල, රුවන්වැල්ල, කරවනැල්ල, යටියන්තොට, හක්බෙල්ලාවක, ඉංගිරියාවත්ත, තැලිගම, කිතුල්ගල, කළුගල හංදිය, මාවුස්සාකැලේ සමන් දේවාලය හරහා නල්ලතන්නිය ශ්‍රී පාද පද්මය දක්වා කිලෝ මීටර් 117ක දුරක් දින හතරක කාලයක දී අවසන් කෙරෙන බව හේමචන්ද්‍ර පියදාස මහතා පවසයි.
අතීත මුතුන් මිත්තන් අනුගමනය කරන ලද පැරණි සිරිත් විරිත් ඇඳුම් පැලදුම් ආයිත්තම් භාවිත කරමින් ගමන ආරම්භයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා පාවහන් භාවිත නොකර තුන් සරණේ කවි ගයමින් රාත්‍රී කාලයට පන්දම් එළි දල්වාගෙන මඟ දෙපස ජනයා ලබාදෙන ආහාර ජලය ගෙන බණ මඬුවක හෝ අම්බලමක රැය පහන් කර මෙම පාද චාරිකාව වර්තමානයේ දරුවන්ට දැක බලා ගැනීමට උදා කරන මහඟු අවස්ථාවකි. බාර හාර ඔප්පු කිරීමටවත් ගිනස් වාර්තාවක් තැබීමටවත් නොව පැරණි සංස්කෘතිය අභාවයට යාම වළක්වාලමින් යළි වර්තමාන සමාජයට සිහිපත් කිරීම මෙහි අරමුණ බව ද හේමචන්ද්‍ර පියදාස පැවසීය. වර්තමානයේ බෞද්ධයින් පුර පසළොස්වක පෝයකටවත් තම ගමේ විහාරස්ථානයට නොයන අවස්ථාවක කිලෝ මීටර් 117ක් ගෙවා සිරිපා වන්දනා කිරීමට නොව පන්සලටවත් යෑම මෙය දැක අධිෂ්ඨානය ඇති කර ගනු ඇතැයි හේමචන්ද්‍ර පියදාස මහතා බලාපොරොත්තු වෙයි.
11 වැනි වරට මෙවර සිරිපා වන්දනා පාද චාරිකාව පෙබරවාරි 09 වැනිදා ආරම්භ කර දින හතරක් මුළුල්ලේ ගමන් කර 12 වැනිදා දහවල් 12.00ට ශ්‍රී පාද මළුවට ළඟා වීමට නියමිතය.