ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) අවසර ලබා දුන්නේය.
අදාළ පෙත්සම ඊයේ (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය එම පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මේ බව ප්‍රකාශ කරන ලදි.
ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා, සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයකුට ලබා දී ඇති ආරක්ෂාව අඩු කළ හැකි නමුත් එය නිසි තත්ත්ව ඇගැයීමකින් පසුව කළ යුතු බවය.
පෙත්සම්කාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති ආරක්ෂක සංචිතය අඩු කිරීමට පෙර එවැනි ආරක්ෂක තත්ත්ව ඇගැයීමක් සිදු කර නැති බව ඒ මහතා සඳහන් කළේය. එය අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කළ බව ද ඒ මහතා සඳහන් කළේය.
එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය සඳහන් කළේ මෙම පෙත්සම පෙර දිනයේ තමන්ට ලැබුණු බවය.
ඒ අනුව අදාළ වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කල් අවශ්‍ය බව ඇය සඳහන් කළාය.
කරුණු තහවුරු කිරීම සඳහා මෙම පෙත්සම ලබන මාර්තු මස 19 වැනිදා කැඳවීමට නියම කෙරිණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
මෙරට පැවති යුද්ධය නිමා කිරීමට නායකත්වය දුන් තමාට ත්‍රස්තවාදී තර්ජන ඇති අතර තම ජීවිතයට ද තර්ජන එල්ල වී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සම මඟින් පෙන්වා දී ඇත.
එසේ තිබියදී නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව අඩු කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.
තමන්ට සපයා සිටි ආරක්ෂක නිලධාරී සංචිතයෙන් පොලිස් නිලධාරීන් 60 දෙනකු පමණක් ඉතිරිව සිටියදී සෙසු ආරක්ෂක නිලධාරීන් ඉවත් කර ඇති අතර මේ වන විට කිසිදු සන්නද්ධ ආරක්ෂක නිලධාරියකු යොදවා නැති බව ද පෙත්සමෙහි සඳහන් වේ. මෙලෙස ආරක්ෂාව ඉවත් කිරීම අත්තනෝමතික ලෙස කටයුතු කිරීමක් බව පෙත්සමෙහි දැක්වෙයි.
එමඟින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියි. මීට පෙර තමන්ට ලබා දී තිබූ සම්පූර්ණ ආරක්ෂක සංචිතය යළි ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු සිය පෙත්සම මඟින් ඉල්ලා ඇත.
තමන්ට ඇති තර්ජන පිළිබඳ තක්සේරුවක් සිදු කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ද ඔහු පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.