රජයේ ප්‍රධාන රෝහල්වල රෝගී තදබදය අඩු කිරීමට ග්‍රාමීය රෝහල්වලට අවශ්‍ය මානව හා භෞතික පහසුකම් ලබාදී එම රෝහල් ශක්තිමත් ලෙස සංවර්ධනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ, උතුරු මැද පළාතේ පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි රෝහල් කිහිපයක නිරීක්ෂණයට පසුගියදා (05) එක්වෙමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද විශේෂ වැඩපිළිවෙළට සමගාමීව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රමුඛ අමාත්‍යාංශ නිලධාරින් මේ නිරීක්ෂණ චාරිකාවට එක්වූහ. මේ චාරිකාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැලිකන්ද මූලික රෝහල, පොලොන්නරුව මහ රෝහල සහ චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේද රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල්වල පවතින මානව හා භෞතික සම්පත්වල අඩුපාඩු සොයා බලා විසඳුම් දිය හැකි ගැටලුවලට විසඳුම් ලබාදීමටද පියවර ගත්තේය. මෙහිදී අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට බලපාන බෝ වන සහ බෝ නොවන රෝග පාලනය, දරුවන්ගේ සහ මවුවරුන්ගේ වත්මන් පෝෂණ තත්ත්වය සහ ඉදිරි පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රෝහල්වල වත්මන් ඖෂධ තත්ත්වය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලට ත්‍රිපෝෂ ලැබීම, ක්ෂේත්‍ර නිලධාරින්ගේ ප්‍රවාහන ගැටලු ආදී ගැටලු රැසක් පිළිබඳව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, රෝහල් අධ්‍යක්ෂවරුන්, වෛද්‍ය අධිකාරිවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. මේ නිරීක්ෂණ චාරිකාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඇතුළු වෛද්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.