Home » 2030 වනවිට ඩිජිටල්කරණය හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 5 ක ආදායමක් අපේක්ෂා කරනවා

2030 වනවිට ඩිජිටල්කරණය හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 5 ක ආදායමක් අපේක්ෂා කරනවා

by thanushika
February 7, 2025 1:45 am 0 comment

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක

– ඩිජිටල් ආර්ථිකයක් රට තුළ නිර්මාණය කිරීමේ වැඩසටහන පිළිබඳව

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක

 මෙරට රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් ඉතාම ඉක්මනින් ඩිජිටල් ආර්ථිකයක් රට තුළ ස්ථාපිත කිරීම වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වෙනවා. මෙම වැඩසටන පිළිබඳව විග්‍රහයක් කළොත්

පසුගිය මැතිවරණ සමයේ සිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් පොරොන්දුවක් තමයි මේ රටේ ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන අංශයක් ලෙස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැදගත්කම පෙන්වා දුන්නා. ඩිජිටල්කරණය හා සංචාරක ව්‍යාපාරය හරහා 2030 වනවිට අපේ ඉලක්කයක් තිබෙනවා. ඒ අනුව එම වසර වනවිට ඩිජිටල්කරණය හරහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 5 ක ආදායමක් අපේක්ෂා කරනවා. ඊට අමතරව අපි ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයක් අපේක්ෂා කරනවා. ඒ ඉලක්කය කරා යන්න නම් අපිට මූලික වශයෙන් ඉටුකළ යුතු වැඩසටහන් කිහිපයක් තිබෙනවා. ඒ අනුව තොරතුරු තාක්ෂණය යන්න පුළුල් කළයුතු වෙනවා. එහි පළමු වැන්න තමයි තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් ප්‍රමාණය රටේ තවදුරටත් වැඩි කළයුතු වෙනවා. දැනට අපේ රටේ ඉන්නේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් 85,000ක් පමණ ප්‍රමාණයක්. මෙය 200,000ක් 250,000ක් දක්වා රැගෙන යායුතු වෙනවා.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියෙන් රටට එකතු වන තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් ප්‍රමාණය අඩුයි. ඒ අනුව මෙම අගය ඉක්මණින් ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කළයුතුයි. එසේ නොවන්නේ නම් අපේ ඉලක්කය සපුරා ගන්න නොහැකි වෙනවා. ඩොලර් බිලියන 15 ක ඩිජිටල් ආර්ථිකයකට යනවා නම් රටතුළ ඩිජිටල්කරණය සිදුවනවා මෙන්ම රටින් පිටට ද අපේ ඩිජිටල්කරණ නිෂ්පාදන රැගෙන යායුතු වෙනවා. එය මූලික කරගෙන අපි කටයුතු කරගෙන යනවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විදියට අපි මේ සම්බන්ධයෙන් විවිධ අංශ යටතේ කටයුතු කරගෙන යනවා. ඒ අනුව ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, ඩිජිටල් කර්මාන්තය දියුණු කිරීම, අපනයනය කිරීම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එහි වැඩසටහන් දෙකක් තුනක් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා. එහි මුල් පියවර ලෙස අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 දා ආරම්භ කළා. රටේ ජනතාවගේ උප්පැන්න සහතිකය, කසාද සහතිකය සහ මරණ සහතිකය යන සහතික තුනම ඩිජිටල් නිකුත් කිරීම ආරම්භ කළා.

මේ දක්වා නිකුත් කරන්නේ අතින් ලියන ලද සහතික. නමුත් මේ නව වැඩපිළිවෙල යටතේ ඩිජිටල්කරණය ඔස්සේ සහතික ලබාගන්න පුළුවන්. ඊට අමතරව විදේශ රටවල සිටින ශ්‍රී ලංකිකයන්ට ද තමන්ගේ රටට අදාළ තානාපති කාර්යාලයට ගොස් ඒ හරහා සහතික ලබාගන්න පුළුවන්. ඒ අනුව ඒ ඒ තානාපති කාර්යාලවලට මෙම සහතික පිටපත් සහතික කිරීම වෙනුවෙන් බලය ලබාදී තිබෙනවා. ඒ අනුව අද (07) දවසේ අංශ තුනක් යටතේ ඩිජිටල්කරණය වැඩි කිරීම මෙයින් සිදුවෙනවා. එහි මූලික කරගත් අංශ තුනක් තිබෙනවා. රජයේ ගෙවීම් (Government Pay) ඩිජිටල්කරණය ඔස්සේ සිදුකිරීම, ජනාධිපති අරමුදල ඩිජිටල්කරණයට ලක්කිරීම එහි ප්‍රධානයි. ජනාධිපති අරමුදල සමහර යුගවල අවභාවිතා කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එවැනි දේ වළක්වා ගැනීමට ඩිජිටල්කරණය කරන්න බලාපොරොත්තු වෙනවා. එම අරමුදල පිහිටුවා තිබෙන්නේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්. ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවන්න, ආගමික සහජීවනය ආදිය වෙනුවෙන් ජනාධිපති අරමුදල පිහිටුවා තිබෙනවා.

රටේ ජනතාවට කොළඹට පැමිණීමකින් තොරව ජනාධිපති අරමුදලින් මුදල් ලබාගැනීමේ පහසුව ලබාදෙනවා. ජනාධිපති අරමුදලින් අවශ්‍ය මුදල් ලබාගන්න ලිපි ලේඛන රැගෙන කොළඹට එන්න ඕන. දුර පළාත්වල සිට එන අයට ඒක විශාල ප්‍රශ්නයක්. නමුත් ඉදිරියේ දී තමන්ට ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් එහි ක්‍රියාවලිය ආරම්භ කරන්න පුළුවන්. අයදුම්පත සහ අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයදුම්කරුවාට කෙටි පණිවුඩයක් ලබාදෙනවා. එතැන් සිට එහි ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ඒ ඉල්ලීම සාධාරණ නම් සහ ඉදිරිපත් කර තිබෙන ලිපිලේඛන සත්‍ය වන්නේ නම් සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත අදාළ මුදල බැංකු ගිණුමට බැර කරන්න පියවර ගන්නවා. අනෙක තමයි රජයේ ගෙවීම් කියන එක. දැනට රජයේ ගෙවීම් බොහොමයක් මේ වනවිට ඩිජිටල් ගෙවීම් කරන්න විදියක් නැහැ.

 රාජ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය ගෙවීම් පහසුවෙන් මෙන්ම කඩිනමින් සිදුකිරීමේ නව ක්‍රමවේදයක් ලෙස Gov Pay වැඩසටහන හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය සේවයේ කවර සේවා සඳහා මෙම Gov Pay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය භාවිතයෙන් ගෙවීම් සිදුකළ හැකිද?

මූලික වශයෙන් ගෙවීම් කරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවයි. ක්‍රමයෙන් එළියට පැමිණ රජයේ ආයතනවලට ගෙවීම් සිදුකරන්න නව ක්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා. ඒ ක්‍රමවේදය තුළ ඉතාම පහසුවෙන් තම බැංකුව හරහා ගෙවීම් කරන්න පුළුවන්. අද වනවිට ඒ සඳහා ආයතන 9ක් ආරම්භ කරන්න පියවර ගෙන තිබෙනවා. අප්‍රේල් පමණ වනවිට ආයතන 30ක් දක්වා ඉහළ නංවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලෙස ගත්විට කෑගල්ල, මහර, රත්මලාන, තිඹිරිගස්යාය, යාපනය යන කාර්යාලවලට අදාළ සියලුම ගෙවීම් ඩිජිටල්කරණය ඔස්සේ පහසුවෙන් කරන්න පුළුවන්.

 මෙම Gov Pay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය සමඟ අත්වැල් බැඳගෙන කටයුතු කරන රාජ්‍ය ආයතන සහ එම ගෙවීම් ක්‍රමවේදය හරහා උපකාර ලබා ගත හැකි සුවිශේෂී වූ සේවාවන් පිළිබඳව විග්‍රහයක් කළොත්

රජයේ ගෙවීම් ගත් විට ගෙවීම් කළයුතු ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. උදාහරණයක් විදියට ආදායම් බදු ගෙවන්න වෙනවා. නමුත් ආදායම් බදු ගෙවන්න ක්‍රමවේදයක් සකස්කර නැහැ. ඒ අනුව කොහොමද ගෙවන්නේ. අන්න ඒ ටික තමයි මේ හදන්නේ. වරාය වෙත ආනයනය කළ දෙයක් අපි නිදහස් කරගත යුතු වෙනවා. රේගුවෙන් නිදහස් කර ගන්න වෙනවා. අපි ඒකට මුදල් ගෙවනවා. ඒක ගෙවන්න රේගුවටම යන්න වෙනවා. නමුත් ඩිජිටල්කරණය කිරීම තුළ අදාළ අංකය වෙත අපිට නිවෙසේ සිටම අදාළ ගෙවීම සිදුකරන්න පුළුවන්. ඉන්ටර්නෙට් බෑන්කින් හරහා එම මුදල් ගෙවන්න පුළුවන්. ඉදිරියේ දී කාඩ්පත් ගෙවීම් සිදුකරන්න පුළුවන්. ඩිජිටල් වශයෙන් ගෙවිය හැකි ක්‍රමවේද භාවිතා කරනවා.

 Gov Pay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබා දෙන රාජ්‍ය හා පෞද්ගලික බැංකු මොනවාද?

රාජ්‍ය හෝ පෞද්ගලික බැංකු ඕනෑම එකකින් මේ කාර්යය කරන්න පුළුවන්. ඒ අනුව අද සිට බැංකු විශාල ප්‍රමාණයක් මේ සඳහා එක් වෙනවා. අද උදෑසන 10.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී මෙය සිදු කෙරෙනවා.

එය රටේ ජනතාවට විශාල වැදගත්කමක් ලබාදෙනවා. පුරවැසියන්ට දැනට රජයේ ආයතන වෙනුවෙන් සිදුකරන ගෙවීම් මේ ඔස්සේ කරන්න හැකියාව ලැබෙනවා. දැනට වතුර බිල, විදුලි බිල ගෙවන්න ක්‍රමවේදයක් තිබුණාට නගර සභාවේ වරිපනම් ගෙවන්න නිවාඩුවක් දාන්න වෙනවා.

 මෙම ඩිජිටල්කරණ වැඩසටහන සඳහා රජයේ ආයතන කොපමණ ප්‍රමාණයක් යොදාගෙන තිබෙනවාද?

පළාත් පාලන ආයතන ලෙස ගම්පහ නගර සභාව සහ රඹුක්කන නගර සභා දෙකත් අපි මේකට ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව මූලික වශයෙන් අපි මේ සඳහා රජයේ ආයතන පහක් හයක් අරගෙන තිබෙනවා.

නමුත් ඉදිරියේ දී තව විශාල ප්‍රමාණයක් එකතු වෙයි. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති අධිකාරිය, වරාය අධිකාරිය, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව, මිනුම්දෝරු දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තුමේන්තුව ඒ අතර වෙනවා. මෙම ආයතනවලට යම් යම් ගෙවීම් කරන්න වෙනවා. ඒ හැම ආයතනයකම ගෙවීම් කරන්න ඉදිරියේ දී පහසු වෙනවා. ඒ අනුව ඩිජිටල් ගෙවීම් හරහා එය ඉතාම පහසු වෙනවා.

ගෙවීම කරන්න පෙර අපි අදාළ ආයතනය සමඟ සම්බන්ධ වෙන්න ඕන. මේ සඳහා වේදිකාව සකස් කරදුන්නේ ලංකා පේ ආයතනයයි. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහාය ලබාදෙනවා. ඊට අමතරව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය මේ සඳහා සහාය ලබාදෙනවා.

 ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය අංශයම ඩිජිටල්කරණය සඳහා කොපමණ කාලයක් ගතවේවිද?

මේ වනවිට වැඩසටහන් රැසක් අපි ආරම්භ කර තිබෙනවා. හොඳම උදාහරණය තමයි ඩිජිටල් හැදුනුම්පත. මූලික අවශ්‍යතාවය එයයි. කුමන ආයතනයකට ගියත් සත්‍ය වශයෙන්ම පුද්ගලයාගේ හැදුනුම්පත ඔස්සේ තහවුරු කරගත හැකි වියයුතුයි. ඉතාම කෙටි කලක දී රටේ සියලු දෙනා අතටම ඩිජිටල් හැදුනුම්පත ලබාදෙනවා. ඩිජිටල් හැදුනුම්පත මූලික කරගෙන රටේ සියලු ආයතන ඩිජිටල්කරණය කරන ප්‍රතිපත්තියකට යනවා. අපි ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙලකට යනවා.

ඇතැම් තැන්වල බාගෙට ක්‍රියාත්මක වැඩසටහන් තිබෙනවා. නමුත් ඒවා පිළිබඳව අධ්‍යයනයක් සිදුකර ඉදිරියට යනවා. මේ සඳහා ඩිජිටල් අමාත්‍යාංශය විදියට අපි වෙනම කණ්ඩායමක් පත්කරගෙන යනවා. ඒ අනුව අදාළ සිස්ටම්, ගැටලු ආදිය නිරීක්ෂණය කරනවා. නමුත් අපි උපරිමයෙන් මේවා කරන්න අපේක්ෂා කරනවා.

සංවාදය සහ සටහන – නෙත්මි පූජනී රත්නායක
ඡායාරූප – වාසිත පටබැඳිගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT