Home » රසිකයෝ මගෙන් ඉල්ලන්නේ තාත්තගෙ ගීත

රසිකයෝ මගෙන් ඉල්ලන්නේ තාත්තගෙ ගීත

tharanga nelson with reggue සංගීත කණ්ඩායමේ නායක තරංග නෙල්සන්

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ගීත ලොව නොමැකෙන සටහන් තබා මීට වසර දෙකකට පමණ පෙර රසික හදවත් කම්පනයට පත් කරමින් ජීවිතය හැරගිය නිහාල් නෙල්සන් නම් අසහාය ගායකයාගේ මතකයන් රසික හදවත් තුළ සදා රැඳුණත් ඔහුගේම හඬින් නැවතත් එම ගීත රස විඳීමට අවස්ථාව සලසා දීමට ඔහුගේ පුත් තරංග නෙල්සන් ප්‍රසංග වේදිකාවට අවතීර්ණ වී සිටියි. මේ ඒ පිළිබඳව තරංග නෙල්සන් සමඟ කළ සුහද පිළිසඳරකි.

සංගීත ලොව නොමැකෙන සලකුණක් තැබූ තම ආදරණීය පියා ගැන මුලින්ම කතා කරමු?

ඇත්තටම තාත්තා තවමත් ජීවමානයි. රසික සිත්වල තවමත් තාත්තා ඉන්නවා. 1962දී තාත්තා ගීත කියන්න පටන් ගෙන තියෙනවා. 1963දී තමා ඔහුගේ මුල්ම ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වෙන්නේ. එතැන් සිට ජීවිතය හැර යනතුරුම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළා. තාත්තා නැති වෙලා මේ ගෙවෙන්නේ තුන්වැනි අවුරුද්ද. ඒත්, ඔහුගේ ගීත රසිකයන්ගේ හදවත්වල රැඳී තියෙනවා. තාත්තා හිටිය කාලයේ කළ යහපත් දේවල් නිසා අදටත් අපට කිසිදු කරදරයක් නැතිව හැමෝගේම ආදරය දිනාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබී තියෙනවා. තාත්තාගේ නිර්මාණත් එක්ක මට විශාල ගමනක් යන්න මාර්ගය සැලසී තියෙනවා.

ගීත 4000කට වැඩි ප්‍රමාණයක් ගීත ලොවට දායාද කළ නිහාල් නෙල්සන් මහතා රසිකයන් අතර වඩාත් ප්‍රචලිත වූයේ බයිලා ගායකයෙක් විදියටයි. නමුත් සරල ගීතත් ගායනා කළ ඔහු සෑමවිටම එම ගීතවලින් රසිකයන්ට යම් පණිවිඩයක් දීමට උත්සාහ ගත්තා. එය ඔබ දකින්නේ කෙසේද ?

තාත්තා බයිලා ගීතවලට කොටු කර තිබුණාට ඔහු අතින් සරල ගීතත් විශාල ප්‍රමාණයක් ගායන ලෝකයට එකතුවී තිබෙනවා. නමුත් ප්‍රසංග වේදිකාවේදී වේග රිද්ම ගීතවලට වැඩි ඉල්ලුමක් තියෙන නිසා තාත්තා බයිලා ගීතවලින් ජනප්‍රිය වුණා. අද වගේ නෙමේ, ඒ දවස්වල ගුවන්විදුලියේ ගීතයක් ප්‍රචාරය කර ගැනීම තරමක් අමාරු කාර්යයක්. ඒනිසා ලැබුණු හැම අවස්ථාවකම තාත්තා බයිලා ගීතවලට අමතරව සරල ගීතත් ගායනය කළා. ලැබුන හැම අවස්ථාවකින්ම තාත්තා උපරිම ප්‍රයෝජනය ගෙන රසිකයන්ට සාධාරණයක් ඉටු කර තියෙනවා.

ඒ ගීතවලින් සමාජයට යම් පණිවිඩයක් දුන්නා. තාත්තා හැමවිටම වැරදි කරන්න එපා කියන පණිවිඩය තමයි දුන්නේ. ඔහුත් ඒ වැරදි කිසිවිටෙක කළේ නෑ. එනිසා රසිකයන් හැමවිටම තාත්තා ආදරයෙන් වැලඳ ගත්තා. අදටත් ඒ ආදරය එලෙසම පවතින එක ගැන මට ආඩම්බරයි. මම ප්‍රසංග වේදිකාවකට ගියාම අදටත් මගෙන් ඉල්ලන්නේ තාත්තා ගායනා කළ ගීතයි. ඒකෙන් කියවෙන්නේ තාත්තාගෙන් ලැබුණු රසවින්දනය මගෙනුත් බලාපොරොත්තු වෙනවා කියන එකයි. ඒ සඳහා මම උපරිම සාධාරණය ඉටු කරනවා. සමහර වෙලාවට තාත්තාට ගායනා කරන්න බැරි වුණු ගීතත් මම ගායනය කරනවා.

පියාගේ ගීතවලට අමතරව ඔබ අතින් අලුත් ගීත නිර්මාණය වෙලා තියෙනවා ද?

තාම නෑ. තාත්තාගේ ගීත තමා ගායනා කරන්නෙ. ගිය අවුරුද්දේ මගේ නිර්මාණයක් කරන්න හිටියේ. නමුත් කාර්යබහුල වූ නිසා ඒ කටයුත්ත ටිකක් ප්‍රමාද වුණා. ඒත්, මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් අලුත් නිර්මාණයක් රසිකයන් අතට පත්කරන්න බලාපොරොත්තු වෙනවා.

සංගීත කණ්ඩායමක් සමඟින් අලුත් වැඩකට මුල පුරා ඇති බව ආරංචියි. ඒ ගැනත් කතා කරමු?

මගේම කියලා සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. ඒ tharanga nelson with reggue නමින්. ඒක පොඩි කාලේ ඉඳලාම තිබුණු ආසාවක්. තාත්තා ජීවතුන් අතර සිටියදී මේ කටයුත්ත කරන්න ගියා. ඒත්, කොරෝනා තත්ත්වයත් එක්ක ඒක කර ගන්න බැරි වුණා. පස්සෙ මමත් ගීත ගායනයට යොමු වුණා. ඒත්, එක්කම ගිය අවුරුද්දෙ මගේ සංගීත කණ්ඩායම ආරම්භ කරන්න හැකි වුණා. එහි කළමනාකරුවන් විදිහට ගාමිණී පෙරේරා සහ උපුල් නිශාන්ත කටයුතු කරනවා. ජයාන්, ප්‍රතිපාදන සලසනවා. දැන් සංගීත කණ්ඩායම රට වටා ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. මගේ පළවැනි ප්‍රසංගය පසුගිය 02 වැනිදා වෙන්නප්පුව කඩවත වෙරළ ක්‍රීඩාංගණයේදී රසිකයන් පිනවූවා. එහිදී තාත්තා ගැයූ, ඒත් සැඟවුණු ගීත රැසකින් රසිකයන් පිනවන්න හැකි වුණා.

ඔබ පූර්ණකාලීනව ගීත ගායනයට යොමු වීමට අදහස් කරනවා ද?

මම ගුවන්විදුලි සංස්ථාවේ සේවය කළා. අම්මාගේ නැතිවීමත් එක්ක මම එයින් ඉවත් වුණා. පසුව ටික කාලයක් නිහඬව ඉඳලා දැන් පූර්ණකාලීනව ගීත ගායනයට යොමු වී සිටිනවා.

අද ඔබට ප්‍රසංග වේදිකාවෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

තාත්තාට තිබුණු ආදරය මටත් එලෙසම ලැබෙනවා. මම ප්‍රසංග වේදිකාවට නැග්ගාම තාත්තගේ සින්දු ඉල්ලන පිරිස වැඩියි. තාත්තගේ සින්දුවක් මගේ හඩින් කියනකල් බලාගෙන ඉන්නවා. මම ඒ අය වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරනවා.

ඒවගේම වේදිකාවෙන් බැස්සාම තාත්තගේ ගුණ කියනවා. මටත් උපදෙස් දෙනවා. ඒ හැම එකක්ම මම සතුටින් භාර ගන්නවා.

මවුපියන්ගේ අභාවයෙන් පසු ඔවුන් විසින් ගැයූ ගීත ගායනයට දරුවන් යොමු වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඔහුගේ හෝ ඇයගේ හඬ එලෙසම පිහිටන්නේ අතළොස්සකටයි. ඒ අතර ඔබත් සිටිනවා. එය ඔබේ සංගීත ගමනට විශාල ශක්තියක් නේද ?

ඔව්. ඒ කතාව ඇත්ත. එහෙම පියාගේ හෝ මවගේ හඬම දරුවන්ට පිහිටනවා අඩුයි. නමුත් මට ඒ වාසනාව උරුම වුණා. ඒ වගේම තාත්තා කළ යහපත් දේවල් ඒ අයුරින්ම ආරක්ෂා කර ගන්නත් කටයුතු කළ යුතුයි. එහෙම වුණොත් අපේ ඉදිරි ගමන සාර්ථකයි.

ඉදිරි වැඩකටයුතු පෙළගැහෙන්නේ කොහොමද ?

තාත්තාගේ ගීත ගායනා කරන ගමන් මගේම කියලා නිර්මාණ කිහිපයකුත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මගේ සංගීත කණ්ඩායමේ වාදක මණ්ඩලයේ ගීත කිහිපයක් එළිදක්වන්නත් කටයුතු කරනවා.

එළිමහන් ප්‍රසංගවලට වගේම විදෙස් සංචාර කිහිපයකටත් සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒවගේම මේ මස 14 වැනිදා ආදරවන්තයන්ගේ දිනය දවසේ tharanga nelson with reggue සියතත් සමඟ එක්වෙනවා.

 

දිල්හානි ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT