Home » ට්‍රම්ප් මොනවා කරයි ද?

ට්‍රම්ප් මොනවා කරයි ද?

by mahesh
February 7, 2025 1:01 am 0 comment

උදිත ගුණවර්ධන

අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගත් තීරණ, ලෝකයට සහ අප රටට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි.

අමෙරිකා එක්සත් ජනපදයේ 41 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා නැවත පත්වීම ලෝකය තුළ විශාල කතාබහකට ලක්ව තිබේ. යුද්ධ, ගැටුම්, අර්බුද ඇතුළු කරුණු නිසා එක්සත් ජනපදය විශාල අර්බුදයක් වෙත යොමුව තිබේ. මෙතෙක් කල් අමෙරිකාව පාලනය වූයේ ප්‍රභූ කණ්ඩායම් දෙකක් අතරය. එමෙන්ම අද ප්‍රභූවරුන් අතර ද බෙදීමක් ඇතිව තිබේ. වර්තමාන අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට වඩා වෙනස් ප්‍රතිපත්තියක් වෙත අනුගතව කටයුතු කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව පැහැදිලිව දැකගත හැකිය. ඔහු ජනාධිපති ධුරයට පත් වූ විගස විවිධ ගිවිසුම්වලින් ඉවත් වීම සහ ලෝක සංවිධානවලින් ඉවත් වීමට තීරණය කිරීම නිසා ලෝකය පුරා විශාල ආන්දෝලනයකට ලක්ව තිබේ.

සැබැවින්ම ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ ආරම්භයේදීම සාම්ප්‍රදායික නිල දේශපාලන පන්තියට අනුකූල නොවන තීන්දු තීරණ රැසක් ගැනීම නිසා ඔහු ඉතිහාසයේ පළමු වරට අමෙරිකාවේ ප්‍රභූ දේශපාලන තන්ත්‍රයෙන් පිටත පුද්ගලයකු ජනාධිපති වීමක් වශයෙන් ප්‍රකටව පෙනෙන බව තවත් විචාරක මතයකි.

මෙතෙක් තිබූ අමෙරිකානු සම්ප්‍රදාය වූයේ ඩිමොක්‍රටික් පක්ෂය බලයට පත් වුවද රිපබ්ලිකන් පක්ෂය බලයට පත් වුවද අමෙරිකානු ජාතික ප්‍රතිපත්ති තුළ ව්‍යුහාත්මක වෙනස්කමක් සිදු නොකිරීමය. එහෙත් ට්‍රම්ප් ඒ ක්‍රමය වෙනස් කරමින් කටයුතු ආරම්භ කර ඇති බවක් පැහැදිලි වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අදහස් කරන ප්‍රතිපත්තිය බවට පත්ව තිබෙන්නේ ව්‍යාපාර මූලික ක්‍රමයක් යටතේ කටයුතු කිරීමය. ඒ ආකාරයට ට්‍රම්ප් මහතාගේ ප්‍රතිපත්තිය තුළ භූ දේශපාලනික වෙනසක් වීමට මෙන්ම ඒ ගැන ලෝක මාධ්‍යවල අවධානය ද යොමුව තිබේ. ට්‍රම්ප්ගේ ක්‍රමය අපට, ලොවට බලපාන ආකාරයට සලකා බැලිය යුතුය. ව්‍යාපාර කේන්ද්‍රීය නව ක්‍රමය තුළ අමෙරිකාව කෙතෙක් දුරට සාර්ථක වේද, එහි බලපෑම ගෝලීය වශයෙන් කෙතෙක් දුරට බලපානු ලබයි ද යන්න විමර්ශනය කළ යුතුය. අමෙරිකානු දේශපාලනය තුළ බලය ලබා ගන්නා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකි. එම පක්ෂ දෙක වන්නේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දේශපාලන පක්ෂයි. ඩිමොක්‍රටික් පක්ෂය පරාජිත බයිඩන් නියෝජනය කළ පක්ෂයයි. රිපබ්ලිකන් පක්ෂය යනු ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරනු ලබන පක්ෂයයි. එමෙන්ම ඔවුනගේ අරමුණ වන්නේ අමෙරිකාවේ ආධිපත්‍ය ලෝකය පුරා රඳවා ගැනීමය.

පසුගිය කාලය තුළ ලොව පුරා ඇති වූ විවිධ අර්බුද, සටන්, යුද්ධ සඳහා මෙම ප්‍රතිපත්තිය දැඩි ලෙස බලපෑ බව සඳහන් කළ හැකිය. එයට හේතු වූයේ අමෙරිකාව ලොව පුරා ශක්තිමත් කළ යුතුය යන ප්‍රතිපත්තියයි.

එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරනු ලබන්නේ කාර්මික ධනවාදයයි. ඔහු සහ ඔහු නියෝජනය කරන පක්ෂය මූලිකත්වය ලබා දෙනු ලබන්නේ රට අභ්‍යන්තරයේ අමෙරිකානුභාවය, ආර්ථිකය ශක්තිමත් කිරීමය. ඔහු ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම, දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම ආදිය පිළිබඳව අවධානය යොමු කරනු ලබයි. ට්‍රම්ප් අනුගමනය කරනු ලබන්නේ ජාතිකවාදී දේශපාලන ප්‍රතිපත්තියක් ලෙස සඳහන් කිරීමේ වරදක් නැත.

දැනටමත් ට්‍රම්ප් ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් ඉවත්ව යාමට තීරණය කර තිබේ. නේටෝ සංවිධානය වෙත ලබා දුන් යුද වියදම් ලබාදීම සීමා කිරීම ද විශේෂ තීරණ ලෙස සඳහන් කළ හැකිය. ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තමන්ගේ පළමු ධුර කාලය තුළ ද මෙවැනි ආන්දෝලනාත්මක තීරණ ගැනීමට පසුබට නොවුණි. ඔහුගේ එම ධුර කාලය තුළ ද චීන භාණ්ඩ වෙත බදු පැනවීමක් කළ අතර, දෙවන ධුර කාලය තුළ ද එම ප්‍රතිපත්ති වෙනස්වී නැත. එමෙන්ම කැනඩාව, චීනය, මෙක්සිකෝව, යුරෝපය වෙතින් එන භාණ්ඩ වෙත බදු පැනවීම මඟින් ආදායම් උත්පාදනය කර ගැනීමට සිදු කරනු ලබන උත්සාහයකි. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාව දෙස බලන්නේ සමාගමක් දෙස බලන ආකාරයටය. එය ඔහුගේ වෙනස් ප්‍රතිපත්තියට හොඳ උදාහරණයකි.

අමෙරිකානු දේශපාලනය පවතින්නේ ප්‍රධාන කුලුනු කිහිපයක් මතය. එහෙත් එම කුලුනුවල ශක්තිමත්භාවය පසුගිය කාලය තුළ අඩුව තිබේ. කලක් සංක්‍රමණිකයන්ගේ ආකාර්ෂණය දිනාගත් අමෙරිකාව අද වන විට එසේ නොවන රටක් බවට පත්ව තිබේ. අද අමෙරිකාව වෙත ඇති සමාජ ආකාර්ෂණය බිඳවැටී තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ ස්වර්ණමය යුගය බවට පත්ව තිබෙන්නේ 1930 සිට 1970 දක්වා වූ කාලයයි. ට්‍රම්ප් අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තිවල අරමුණ බවට පත්ව තිබෙන්නේ මෙම ස්වර්ණමය යුගය නැවතත් ඇති කර ගැනීමය.

අද වන විට අමෙරිකාව පසුවන්නේ විශාල ණය බරක් සහිත රාජ්‍යයක් ලෙසය. ලෝකයේ ලොකුම ණය බර ඇති රාජ්‍ය අතරින් අමෙරිකාව ද සිටින්නේ ඉදිරියෙනි. මේ වන විට අමෙරිකා ඩ්‍රීම් හෙවත් අමෙරිකා සිහිනය බොඳව ගොස් තිබේ. ට්‍රම්ප්ගේ අරමුණ බවට පත්ව තිබෙන්නේ එදා ස්වර්ණමය අමෙරිකාව නැවත ගොඩනැඟීමය. ගිවිසුම් රැසක් අවලංගු කරමින් රැඩිකල් තීන්දු තීරණ ගැනීම තුළද තිබෙන්නේ අමෙරිකාව නැවත ගොඩනැඟිය යුතු යැයි වූ පරමාර්ථයයි. පසුගිය කාලය තුළ අමෙරිකාවේ ද නියම් සහ අනියම් සහාය මත යුක්‍රේන යුද්ධය, මැදපෙරදිග අර්බුදය ඇතුළු බොහෝ කරුණු ඇතිව තිබේ. එහෙත් ට්‍රම්ප් ප්‍රතිපත්තිය තුළ එවැනි මැදහත් වීම් පිළිබඳව නැවත සලකා බැලීම් සිදු කරමින් තිබේ.

ට්‍රම්ප් වඩාත් තදින් විශ්වාස කරනු ලබන්නේ ආර්ථික උපක්‍රම පිළිබඳව බව ඔහුගේ කාර්ය නිරීක්ෂණය කරන විට පැහැදිලිව දැකිය හැකිය. ඔහුගේ ප්‍රතිපත්තිය අනුව යුක්‍රේනය, රුසියාව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පත්වීම, බෙන්ජමින් නෙතෙන්යාහු සමඟ සාකච්ඡා කිරීම ආදී වෙනස් ප්‍රවේශ වෙත එළඹ සිටී. එය එසේ වුවද යුක්‍රේනය වැනි රටවල්වල අධික ස්වාභාවික සම්පත් සහ වත්කම් පිළිබඳවද ඇතැම් විට අමෙරිකාවේ අවධානය යොමුව තිබීමටද ඉඩ තිබේ. සියලු දේ ගෙන සලකා බැලූ කල පැරණි පාලනයේ ප්‍රතිපත්ති සහ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අතර විශාල වෙනසක් දැකීමට පුළුවන.

අමෙරිකාවේ නව පිළිවෙත එය වුවද අද වන විට අමෙරිකාව සහ යුරෝපය සතු වූ ආර්ථික ආධිපත්‍යය ඔවුනගෙන් කෙමෙන් ගිලිහෙන බවක් දැක ගැනීමට පුළුවන. දැන් එළඹ තිබෙන්නේ ආසියාවේ අවස්ථාව ලෙස සඳහන් කිරීමේ වරදක් නැත. පසුගිය අවුරුදු සියය තුළ යුරෝපය සහ අමෙරිකාව වෙත තිබූ එම ආධිපත්‍යය බිඳවැටීම තුළ ආසියානුකරය වේගයෙන් පෙරට එන බවක් දැකීමට පුළුවන. එමෙන්ම අවුරුදු සියයක් පුරා ගෝලීය මුදල් ඒකකයක් ලෙස ඩොලරය පැවැතුණ ද අද වන විට එම අධිපත්‍යයද බිඳවැටෙමින් තිබේ.

නව ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය බවට පත්ව තිබෙන්නේ කාර්මික ආර්ථිකයක් ගොඩනැඟීම යන ප්‍රතිපත්තියයි. එහිදී ට්‍රම්ප් මහතා වෙත කෙටිකාලීන ක්‍රමවේද සහ දීර්ඝකාලීන ක්‍රමවේද යන දෙපාර්ශ්වය පිළිබඳවම අවධානය යොමු කර තිබෙන අතර, කෙටිකාලීන සැලසුම් ක්‍රමවේදයක් අනුව කටයුතු කරමින් තිබේ. අමෙරිකාව යනු චීනයෙන් ප්‍රධාන වශයෙන් භාණ්ඩ මිලදී ගන්නා රටකි. එහෙත් මෙම නව බදු ප්‍රතිපත්තිය නිසා චීනයේ සිට ආනයනය කරනු ලබන භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ යෑමට පුළුවන. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා විරෝධයක් ජනතා පීඩනයක් ඇති වීමටද ඉඩ තිබේ. ට්‍රම්ප් ආණ්ඩුවේ අරමුණ බවට පත්ව තිබෙන්නේ ආනයනික භාණ්ඩ වෙනුවට තම රටේම නිෂ්පාදන ප්‍රචලිත කිරීම වුවද එය කොතෙක් දුරට සාර්ථක වේද යන්න සැක සහිතය.

වත්කම් පිළිබඳව සලකා බලද්දී දේපළ වත්කම් සහ මූල්‍ය වත්කම් ලෙස දෙකොටසක් ඇත. මේ පිළිබඳවද සැලකිලිමත් වීම තුළින් ඇති විය හැකි අර්බුදකාරී තත්ත්වයන් වෙත විසඳුම් උදාකර ගැනීමට පුළුවන.

අනෙක් පසින් ලෝක නිෂ්පාදනවලින් අමෙරිකානු පංගුව තිබෙන්නේ සියයට දාහතරක් පමණි. බහුතර පංගු ප්‍රමාණය ඉන්දියාව, චීනය වැනි රටවල්වලිනි.

අද ඇතිව තිබෙන අමෙරිකානු දේශපාලන පරිවර්තනය අප රටේ දේශපාලන ආර්ථිකය සහ දේශපාලනය වෙත බලපාන්නේ කුමන ආකාරයෙන්ද යන්න සලකා බැලිය යුතුය.

අප රටක් ලෙස අනුගමනය කළ යුත්තේ මැදහත් ප්‍රතිපත්තියකි. එම ප්‍රතිපත්තියට හොඳම නිදර්ශනය ලෙස සඳහන් කළ හැක්කේ, 1960න් පසු ඇරඹුණු සිරිමාවෝ බණ්ඩාරනායක යුගයයි. එම යුගයේ යහපත් ලක්ෂණ වර්තමාන ආණ්ඩුවටද ආදර්ශයක් ලෙස සඳහන් කළ හැකිය. චීනය, ඉන්දියාව වැනි රටවල් සමඟ ආර්ථික සබඳතා ගොඩනඟා ගැනීම කළ යුතුය. අමෙරිකානු බලපෑම නිසා ඉන්ධන, ගෑස් වැනි බලශක්ති මිල ගණන් ඉහළ යාමට පුළුවන. මේ පිළිබඳව හොඳ අවධානයකින් කටයුතු කළ යුතුය.

චීනය, වියට්නාමය, ඉන්දියාව, ඉතියෝපියාව වැනි රටවල් ගමන් ගත් මඟ තුළ අප රටටද ගමන් කළ හැකිය. එම ආර්ථික මඟ ඔස්සේ ගමන් කිරීම මඟින් සාර්ථකත්වයට මෙන්ම ඇතිවන ගෝලීය තත්ත්වයන්ටද මුහුණ දීමට පුළුවන. නිදහස ලබද්දී අප රටට වඩා බොහෝ පසුපසින් සිටි රටවල් දියුණුව වෙත ගමන් කළේ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුළිනි.

තවද අමෙරිකානු ජනාධිපතිවරයාගේ නව තීරණ සමඟ අනාගයේදී අප රටෙන් අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ද ඇතැම් විට බදු පැනවීම් සිදුවීමට ඉඩකඩ තිබේ.එනිසා අප එම තත්ත්වයට මුහුණ දීම සඳහා කටයුතු කළ යුතුය.ඒ සඳහා පෙර සූදානමක් සහ සැලසුමක් තිබිය යුතුය. අපගේ නිෂ්පාදන ඉන්දියාව, චීනය ඇතුළු අපට සමීප තවත් රටවල් වෙත යොමු කිරීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කර ගත හැකිය.එම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් අපට රටක් ලෙස අනාගතයේ ඇති විය හැකි බාධා ජයගැනීමට පුළුවන.ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගනු ලැබූ විවිධ දේශපාලන සහ ආර්ථික තීන්දු මඟින් අප රටට සහ කලාපයට බලපානු ලබන බලපෑම් හඳුනාගෙන එයට මුහුණ දීමට කටයුතු කිරීම මඟින් ඇති විය හැකි අනාගත අභියෝග ජයගැනීමට පුළුවන.

භූ දේශපාලන ව්‍යුහයේ වෙනස්කම් තේරුම් ගෙන අප රටක් ලෙස කටයුතු කළහොත් එය අප රටේ දියුණුවට සහ ඉදිරි ගමනට හේතුවක් වනු ඇත. එහෙත් අද අප සිටින්නේ ඉතාමත් තීරණාත්මක තැනකය. එය වටහා ගැනීම කළ යුතු අතර, සාම්ප්‍රදායික දේශපාලනයෙන් තොර අලුත් ආණ්ඩුවක් අප රට තුළ ද ස්ථාපිතව තිබීම නිසා නව ක්‍රමවේද සහ නව සැලසුම් ඔස්සේ ඉදිරියෙන් එන අභියෝග ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT