උක්ත මාතෘකාවට පදනම් වූ කරුණු හතරම එකිනෙක සමපාත සමාන වටිනාකම් සහ සමාන තේරුම් ඇති වචන යැයි අපට සිතේ. ඒවා එක එකක් එකිනෙකින් වෙන් කළ නොහැකි තරමට බැඳී පවතියි.
එවැන්නක් ලිවීමට බලපෑ ආසන්නතම හේතුසාධකය වනුයේ Sunday Leader පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනකු නීතිපතිවරයා විසින් පසුගියදා නිදහස් කරනු ලැබීමේ සිද්ධියයි.
නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද ඒ නිවේදනයේ සඳහන් වූයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව තවදුරටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන බවත්, ඔවුන් නිදහස් කළ හැකි බවත් ය. මෙය බරපතළ සමාජ ආන්දෝලනයක් ඇති කළ සිද්ධියකි. එයට හේතුව; ඉකුත් මැතිවරණ සමයේ මෙන්ම, ගතවූ මැතිවරණ කිහිපයකදීම ලසන්තගේ ඝාතනය පිළිබඳ සාධාරණය ඉටු කරන බවට නිරන්තරයෙන් සාකච්ඡා වී තිබීමයි. එකී දේශපාලනික ප්‍රකාශ මේ සිදුවීමත් සමඟ එක්තරා දුරකට අභියෝගයට ලක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ඉතිහාසයේ මාධ්‍ය නිදහස අහිමි වීම පිළිබඳ කළු පැල්ලම් කොතෙකුත් තිබුණත්, පුවත්පතක කර්තෘවරයකු ඝාතනයවීම පිළිබඳ සිද්ධියක් වාර්තා වූයේ ලසන්තගේ ඝාතනයත් සමඟ ය. අදින් වසර 16කට පෙර, එනම්: 2009 ජනවාරි 8 වැනි දින මහමඟදී ඉතා කුරිරු ලෙස ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනු ලැබී ය. මේ සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයන්ට ඇඟිල්ල දිගු වූ අතර, එකී දේශපාලනඥයන් මේ වනතුරුම ඉන් නිදහස් වූ බවක් වාර්තා නොවීය.
ගත වූ කාලය මුළුල්ලේම සිදුවූයේ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය මෙන්ම තවත් එවැනි සමාජ අවධානය දිනා ගත් බොහෝ සිදුවීම්වල විමර්ශන සහ ඉදිරි නීති කටයුතු දේශපාලන බලඅධිකාරිය විසින් බලහත්කාරයෙන් යටපත් කර දැමීමයි.
මෙකී ඝාතනයට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය සංගම් ජනවාරි මාසය ‘කළු ජනවාරියක්’ ලෙස නම් කොට, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා දැක්වීම සාමාන්‍ය පුරුද්දක්ව පවත්වාගෙන ආයේ ය. කළු ජනවාරියට අදාළ ඒ විරෝධතාව මේ වසරේදී ද පැවැත්විණි.
ගතවූ සෑම මැතිවරණයකදීම ලසන්තගේ මරණය අතිශය ලාභදායක ලෙස දේශපාලනික වේදිකාවල විකුණනු ලැබූ බව සරල සත්‍යයකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ, එනම්: 2016 වසරේදී ලසන්තගේ සිරුර යළි ගොඩගෙන, විමර්ශන ආරම්භ කළත්, ඉන් අත්වූ සුගතියක් නැත.
තම පියාගේ ඝාතනය පිළිබඳ සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් අමෙරිකාවේ අධිකරණයක නඩුවක් ද පවරන ලදි. ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ය.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු වන නමුත්, මේ තාක් ඊට සම්බන්ධ කිසිදු සැකකරුවකු හඳුනාගනු ලැබ නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගියදා ප්‍රකාශකොට තිබිණි. ඒ ප්‍රකාශය අසනවිටම අපට සිහිපත් වූයේ හිටපු ජනපතිවරයකු ලසන්ත වික්‍රමතුංග යනු කවුරුන් දැයි මාධ්‍යවේදියකුගෙන් විමසූ අවස්ථාව පිළිබඳ රූප රාමුවයි.
මාධ්‍ය නිදහස පිළිබඳ කාරණයේදී ශ්‍රී ලංකාවට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. මාධ්‍යවේදීන්ට පහරදීම, තර්ජනය කිරීම, අඩන්තේට්ටම් කිරීම, බිය වැද්දවීම වැනි කරුණු පමණක් නොව, මරාදැමීම වැනි සිද්ධි ද මේ අතරට එකතු වන බව හඳුනාගත හැකි ය. මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දර්ශකය තුළ ශ්‍රී ලංකාව තවමත් පවතින්නේ ‘මාධ්‍ය නිදහස අහිමි’ කුලකයේ ය.
කෙසේ නමුත්, මේ වනවිට සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රයම එක්තරා ආන්දෝලනාත්මක බවකින් පිරීයන්නට මේ සිදුවීම සමත්ව තිබේ. මේ නිසා මාධ්‍ය සංවිධාන කිහිපයක් නීතිපතිවරයාට ඉල්ලා අස් වන ලෙස බලකරමින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්විය. එය රටේ නීතිය පිළිබඳ කිසියම් දර්ශකයක් ද වේ.
ලසන්ත වික්‍රමතුංග ඇතුළු මෙරට මාධ්‍යවේදීන්ට සිදුවූ විවිධ හිරිහැර, අඩන්තේට්ටම් ගැන යළි යළි ලිවීමට මෙය අවස්ථාව නොවුණත්, පොදු සමාජයේ ජනතාව බලාපොරොත්තු වනුයේ ඒ පිළිබඳ සාධාරණය ඉටු වන ක්‍රමවේදයකි.
උක්ත සිදුවීමට අදාළව නීතිපතිගේ ප්‍රකාශය සහ නිවේදනය පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ජනමාධ්‍ය ඇමැතිවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේදී ද ප්‍රකාශ කොට තිබිණි. මේ සිදුවීම අධ්‍යයනය කොට, රජය පාර්ශ්වයෙන් විධිමත් ක්‍රියාමාර්ගයකට යන දිනය කවරදා දැයි ඉක්මනින්ම ප්‍රකාශ කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ලසන්ත වික්‍රමතුංග තම මරණයට සති කිහිපයකට පෙර ලියූ වදනක මෙවැන්නක් සඳහන් විය: “බිය යන වචනය මාගේ ශබ්ද මාලාවේ නැත.” ඔහුගේ ජනමාධ්‍ය දේශපාලනික පෞරුෂය හඳුනාගැනීමට එය ප්‍රමාණවත් ය. ලසන්ත වික්‍රමතුංග සහ ඔහු නියෝජනය කළ දේශපාලනික ධාරාව, ඔහුගේ මතවාද පිළිබඳ කවර පරස්පරතා තිබුණත්, මිනිසුන් මහමඟ මරා දැමීමේ ක්‍රමවේදයකට අපි එරෙහි වෙමු. ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උල්ලංඝනය වන ඕනෑම වර්ගයේ ක්‍රියාකාරකමකට අපි කොන්දේසිවිරහිතව විරුද්ධ වෙමු. එහිදී පක්ෂ, පාට, ජන වර්ගය අදාළ නොවේ.
මේ අතර, මාධ්‍ය ක්ෂේත්‍රයට එල්ල වන තර්ජන හා ඝාතන සිද්ධි දේශපාලන වේදිකාවේ කුණුකොල්ලයට විකිණෙන ක්‍රමවේදයට ද එරෙහි විය යුතුව ඇත. මන්ද යත්: ඒවා දේශපාලන වේදිකාවල සටන් පාඨ පමණක් නොවිය යුතු හෙයිනි.
මෙනයින්ම, අතුරුදන් වූ සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමෙන් හෝ බොරැල්ල කනත්තේ ඔවුන්ගේ සොහොන් කොත් ඉදිරිපිට සැමරුම් දිනවල මල් වඩම් තැබීමෙන් හෝ ඔවුන් වෙනුවෙන් පහන් පත්තු කිරීමෙන් හෝ මියගිය අයට සාධාරණය ඉෂ්ට නොවේ.
මාධ්‍ය භාවිතාවක් නිසා යම් කෙනකුට මියයෑමට හෝ රට හැර යෑමට හෝ සිදු වේ නම්, එය අභාග්‍යසම්පන්න තත්ත්වයකි. එබැවින්, ලසන්ත වෙනුවෙන් සහ නිදහස් මාධ්‍ය භාවිතය වෙනුවෙන් විවිධ තාඩන පීඩන, අඩන්තේට්ටම්වලට ලක් වූ සියලු මාධ්‍යකරුවන් වෙනුවෙන් මෙසේ ලියා තබමු:
‘කඩිනමින් සාධාරණය ඉටු කරන්න.’