ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ තානාපති වැඩසටහන (SLCAP) ආරම්භ කරමින් අද දින ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට මෙරට පත්කිරීමෙහිලා සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේ ය. සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (SLCB) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ආයතන එකට එක්ව, ව්‍යාපාර ඉසව් සඳහා ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමෙහිලා වැඩසටහනක් දියත් කළ පළමු අවස්ථාව මෙය වේ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර කොංග්‍රස් සහ සම්මේලන සංගමයේ (ICCA) ප්‍රධාන විධායක නිලධාරි සෙන්තිල් ගෝපිනාත් මහත්වරුන්ගේ සහභාගිත්වය ඇතිව මෙම වැඩසටහන ඇරඹීය.
මෙරට සංවිධාන ප්‍රධානින් සහ වෘත්තිකයන් ගෝලීය වේදිකාව මත ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපතිවරුන් ලෙස ක්‍රියාකරවීමෙහිලා සම්බන්ධ කර ගැනීම සහ බලගැන්වීම ශ්‍රී ලංකා සම්මන්ත්‍රණ තානාපති වැඩසටහනේ අරමුණ වේ. දැනටමත් තානාපතිවරුන් 25 දෙනෙක් බඳවාගෙන ඇති SLCAP එම තානාපතිවරුන් නියෝජනය කරන ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර සම්මේලන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමෙහිලා සහාය වනු නොඅනුමාන ය. මෙරට රැස්වීම්, දිරිගැන්වීම්, සම්මේලන සහ ප්‍රදර්ශන (MICE) අංශය නව මාවතකට යොමු කරමින් තිරසාරත්වය සහ දැනුම් හුවමාරුව ප්‍රවර්ධනය හරහා ආර්ථික වර්ධනය ඇති කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
SLCAP දියත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්හි ප්‍රධාන විධායක නිලධාරි මිකෙල් ස්වෙන්සන් මහතා මෙසේ පැවැසීය. “පරිපූර්ණ සහ ප්‍රවීණත්වයෙන් යුත් සංචාරක අත්දැකීම් පිරිනමන සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයකු ලෙස සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව මෙම පරිවර්තනීය මුලපිරීම ඉදිරිපත් කිරීමට ලැබීම ගැන ආඩම්බර වේ. අපගේ ගැඹුරු දේශීය දැනුම සහ පුද්ගලාරෝපිත ප්‍රවේශය, ජාත්‍යන්තර සම්මේලන සඳහා ප්‍රමුඛ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරමින් එහි සුවිශේෂී පිරිනැමීම් ලොවට ප්‍රදර්ශනය කිරීමට අපිට අවස්ථාව ලබා දෙයි.