Monday, April 21, 2025
Home » ප්‍රශ්න කරන්න යන විට හිටපු එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකර ගෙදර නෑ
එකලස් කළ වාහනයක් පරිහරණය කළැයි චෝදනා:

ප්‍රශ්න කරන්න යන විට හිටපු එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකර ගෙදර නෑ

by mahesh
February 7, 2025 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක ලියාපදිංචි අංකයෙන් කොටස් එකලස් කර සකස් කළ එම වර්ගයේම ජීප් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් ගැන පුත්තලම දිස්ත්‍රික් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

කොටස් එකලස් කර නීති විරෝධී ලෙස සකස් කර ඇති වාහන සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මඟින් විමර්ශන ආරම්භ කිරීමත් සමඟ මාස තුනකට පමණ පෙර මෙම වාහනය කොටස් කිහිපයකට වෙන් කර මන්ත්‍රීවරයාට අයත් බව කියන පුත්තලමේ පිහිටි පොල් වත්තක සඟවා තිබී ඇත. ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ජාලගත විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (05) පුත්තලමට ගොස් එම වාහනයේ කොටස් සිය භාරයට ගෙන තිබේ. වාහනයේ චැසිය සහ බඳ කොටස පොල් වත්තේ සිට මීටර 400ක් පමණ වූ ස්ථානයක පිහිටි ඔහුගේ මිතුරකුගේ නිවෙසක සඟවා තිබියදීත් එන්ජිම ඇතුළු කොටස් කිහිපයක් පොල් වත්තේ ස්ථානයකත් සඟවා තිබියදී සොයාගෙන ඇත. වැසිය හා බඳ කොටස එම ස්ථානයට රැගෙනවිත් සඟවා ඇත්තේ දින තුනකට පමණ පෙර බව ද අනාවරණය වී තිබේ.

ඒ වන විට වාහනයේ අංක තහඩුව තිබී නැත. මෙම වාහනය පැදවූ ව්‍යාජ අංක තහඩුවට අදාළ සැබෑ වාහනය කෘෂිකර්ම අමාත්‍යාංශයේ තවමත් ඇති බවත් එම වාහනයේ ලියාපදිංචි තොරතුරු ඇතුළත් කර ව්‍යාජ පොතක් පවා සකස් කර තිබී ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙම වාහනය වසර දෙක තුනක් තිස්සේ ශාන්ත අබේසේකර මහතා පරිහරණය කර ඇති බවට තොරතුරු ඇති බව ද එම නිලධාරියා කීය.

කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු යෙදූ මෙම වාහනය 2009 වසරේදී ගාල්ලේ පුද්ගලයකුගේ නමින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබී ඇත. මේ වන විට ගාල්ලේ ලියාපදිංචි හිමිකරු මියගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෘෂිකර්ම අමාත්‍යාංශය ඔවුන් සතුව ඇති ජීප් රථය වෙන්දේසි කිරීමට යෑමේදී මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දී ඇත්තේ මෙම වාහනයේ ලියාපදිංචි අංකයට සමාන තවත් වාහනයක් ඇති බවය. ඒ හේතුව මත කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාහනය වෙන්දේසි කිරීමට නොහැකි වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ව්‍යාජ වාහනයේ ලියාපදිංචි හිමිකරු මියගොස් සිටි බැවින් වාහනය ගැන නිසි තොරතුරක් මුල් අවස්ථාවේදී සොයා ගැනීමට නොහැකි වී ඇත. ඒ අනුව මෙම වාහනයට රක්ෂණ සහතිකයක් ගෙන තිබේදැයි රක්ෂණ සමාගම් ඔස්සේ කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 2018 වසරේදී පුත්තලමේ පුද්ගලයකු විසින් වාහනය රක්ෂණය කර ඇති බවය. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයාව හඳුනාගෙන ඇත. එම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ 2019 වසරේ ඔහු එම වාහනය තවත් පුද්ගලයකුට අලෙවි කර ඇති බවය. හිටපු මන්ත්‍රීවරයා අතට මෙම වාහනය පත්ව ඇත්තේ එම පුද්ගලයා මඟිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුව ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති අතර මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT