Home » වගා හානි වන්දිවලට ලක්ෂ 185ක් ගිණුම්වලට

වගා හානි වන්දිවලට ලක්ෂ 185ක් ගිණුම්වලට

by mahesh
February 7, 2025 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ගොවීන්ට, මහ කන්නයේ සිදු වූ වගා හානි සඳහා වූ වන්දි මුදල් දීම යටතේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ වන විට රුපියල් කෝටි 18.5ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කර ඇති බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා අවධාරණය කරයි.

වගා හානි සිදු වූ ගොවීන් 9511කගේ වගාබිම් අක්කර 13,392ක් සඳහා මෙම මුදල නිකුත් කර තිබේ. පොලොන්නරුව, මුලතිව්, වවුනියාව දිස්ත්‍රික්කවල වගා හානි සිදු වූ ගොවීන් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වගා හානි සිදු වූ ගොවීන් කොටසකට මෙම මුදල් නිකුත් කළ බව ද සභාපතිවරයා කියයි.

‘දිනමිණ’ කළ විමසුමකදී සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ අම්පාර, අනුරාධපුරය, මන්නාරම දිස්ත්‍රික්කවල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතිරි ගොවීන් සඳහා වගා හානි වන්දි මුදල් මේ මස අවසන් වීමට ප්‍රථම කඩිනමින් නිකුත් කිරීම සිදු කරන බවයි.

පසුගිය වසරේ (2024) නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් මහකන්නයේ වගා හානි සිදු වූ ගොවීන් සඳහා පසුගිය ජනවාරි 30 වැනිදා සිට මෙම වගා හානි ගෙවීම ආරම්භ කළ අතර මෙම මස 28 වැනිදා වන විටත් අදාළ වන්දි නොලැබුණු ගොවීන් වේ නම් ‘1918’ ක්ෂණික දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබේ.

වන්දි මුදල් ගෙවීමේදී සිදු විය හැකි අක්‍රමිකතාවන් වැළැක්වීම සඳහා වූ ක්‍රියාමාර්ගයක් ලෙස මෙම වන්දි මුදල් අදාළ ගොවීන්ගේ බැංකු ගිණුම්වලටම බැර කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT