Home » මහනුවර චන්ද්‍රානන්ද බෞද්ධ විදුහලේ ජලිත රන්දෙව්ට ජපානයේ JAXA සම්මානය

මහනුවර චන්ද්‍රානන්ද බෞද්ධ විදුහලේ ජලිත රන්දෙව්ට ජපානයේ JAXA සම්මානය

by sachintha
February 6, 2025 1:00 am 0 comment

මහනුවර චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ ජලිත රන්දෙව් විජේනන්දන ශිෂ්‍යයා ඉදිරිපත් කළ චිත්‍ර පෝස්ටරයට ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියෙන් JAXA සම්මානය මෙවර ලබාදෙනු ලැබීය.

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය අභ්‍යවකාශ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ පාසල් දරුවන්ගේ උද්‍යෝගය සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි. ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදය (APRSAF) සහ ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) මඟින් සංවිධානය කරන අන්තර් ජාතික ළමා චිත්‍ර පෝස්ටර් තරගය සඳහා පාසල් දරුවන් ඉදිරිපත් කිරීම ද වාර්ෂිකව සිදු කරයි.

මෙහිදී ආතර් සී. ක්ලාක් ආයතනය මඟින් ශ්‍රී ලංකාවේ අවුරුදු 6-12ත් අතර පාසල් දරුවන් සඳහා පවත්වන ජාතික තරගයකින් තෝරාගත් චිත්‍ර පෝස්ටර් 3ක් මෙම ජාත්‍යන්තර තරගයට ඉදිරිපත් කළේය. මෙවර මෙම ජාත්‍යන්තර ළමා චිත්‍ර පෝස්ටර් තරගය ඔස්ට්‍රේලියාවේ Crown Perth – Crown Towers Hotel හි පසුගියදා පැවැත්විණි. එහිදී මහනුවර චන්ද්‍රානන්ද බෞද්ධ විද්‍යාලයේ ජලිත රන්දෙව් විජේනන්දන ශිෂ්‍යයා ඉදිරිපත් කළ චිත්‍ර පෝස්ටරය, වාර්ෂිකව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (JAXA) මඟින් එක රටකට පමණක් පිරිනමනු ලබන JAXA සම්මානය(2024) දිනා ගැනීමට සමත් වී ඇත.

ආසියා ශාන්තිකර කලාපීය සංසදයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන නවීන තාක්ෂණය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ තරගය සඳහා මෙවර “අභ්‍යවකාශ චාරිකා (Space Travel)” යන තේමාව යටතේ චිත්‍ර, පෝස්ටර ඉදිරිපත් කළ අනෙක් දරුවන් දෙදෙනා වන කිරිබත්ගොඩ විහාරමහාදේවී විද්‍යාලයේ සෙසලි චනුදිමා කාරියවසම් ශිෂ්‍යාවගේ සහ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ සදෙව් සිතුම් චන්ද්‍රසිරි ශිෂ්‍යයාගේ චිත්‍ර, පෝස්ටර් ද ආසියා ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයේ ඇගයීමකට ලක්වී සහතිකපත් දිනාගත් බවයි.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT