Home » නීතිපතිගේ ලිපිය කම්පනයක් ඇතිකළා
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම

නීතිපතිගේ ලිපිය කම්පනයක් ඇතිකළා

-නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

by sachintha
February 6, 2025 12:15 am 0 comment

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යුක්තිය ඉටු කරන බවට ජනතාවට පොරොන්දු දී තිබියදී ඊට සම්බන්ධ බවට සැක කරන තැනැත්තන් තිදෙනකු නිදහස් කිරීමට හැකියාව ඇති බවට නීතිපතිවරයා නිකුත් කර ඇති ලිපිය සමාජ කම්පනයක් ඇති කරන්නක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාව හමුවේ තබන ලද පොරොන්දු අතර මේ බිහිසුණු අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මකකොට යුක්තිය ඉටු කිරීම ද මූලික කරුණක් ලෙස සඳහන් වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිහිපත් කෙරෙන ජනවාරි 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ අපරාධවලට යුක්තිය ඉටු කරන බවට සපථ කළ බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එවැනි පසුබිමක පාරින්ද රණසිංහ නීතිපතිවරයා පත්කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැයි කියා ඇඟ බේරාගැනීමේ හැකියාවක් වගකිවයුතු ආණ්ඩුවකට තිබිය නොහැකි බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ අපරාධකරුවන්ට නිදහස හිමිවන දණ්ඩ මුක්තියක් නෛතිකව ක්‍රියාත්මක වන්නේ නැතත් මෙවැනි පියවර මඟින් එවැන්නකට නීතිමය පසුබිමක් ලබාදෙන බව අපගේ නිරීක්ෂණය යැයි ද එහි දැක්වේ.

එබැවින් අප දකින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක ද ඔහුගේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වී පියවර ගත යුතු බව යැයිද නිදහස් මාධ්‍ය ව්‍යපාරය සඳහන් කරයි. නැතහොත්, යුක්තිය අපේක්ෂා කරන සියලු පාර්ශ්ව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව එකම පෙරමුණකට ගොනු වීම වැළැක්විය නොහැකි බව ද ජනතාව දේශපාලන බලය ලබාදීමේදී අපේක්ෂා කරන ලද සුජාතභාවය පිළිබිඹු කිරීමට ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයා වගබලා ගතයුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දුලක්ෂි උඩගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT