තම පෞද්ගලික නිවෙස තිබියදී , නිල නිවාසවල රැඳී සිටින පොලිස් නිලධාරීන්ව එම නිවාසවලින් ඉවත් කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.
නිල නිවාස එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද පොලිස් මූලස්ථානයට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද මේ වනවිට සොයා බැලීමක නිරතව සිටින බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
ඇතැම් පොලිස් නිලධාරීන්ට කොළඹ නිල නිවාස ඇති බවත් ඔවුන් සේවයේ නිරතව සිටින්නේ කොළඹින් පිටත ප්‍රදේශවල බවත් ඔවුන් සේවයේ නිරතව සිටින ප්‍රදේශවල ද නිල නිවාස ඇති බවත් එම උසස් නිලධාරියා කීය.
ඇතැම් පොලිස් නිලධාරීන් විශ්‍රාම යන තුරුම නිල නිවාසවල රැඳී සිටින බව පෙනී යන බවත් වසර 20කට වැඩි කාලයක් තිස්සේ නිල නිවාසවලම රැඳී සිටින නිලධාරීන් සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය. බොහෝ අය මෙසේ නිල නිවාසවල රැඳී සිටින්නේ තමන්ටම කියා පෞද්ගලික නිවාස තිබියදී බව ද එම නිලධාරියා කීය. එවැනි නිලධාරීන් හඳුනාගනිමින් එම නිලධාරීන් නිල නිවාස වලින් ඉවත් කිරීමට දැනටමත් නිල දැනුම්දීම් කර ඇති බව එම නිලධාරියා කීය.
ඇතැම් නිලධාරීන් සිය නිල නිවාසවල කාමර කුලියට දෙන බවත් කොළඹ පොලිස් නිල නිවාස රැසක මෙම අකටයුත්ත සිදුවන බවත් පෙනී යන්නේ යැයි ද එම උසස් නිලධාරියා පැවසීය. එසේ කාමර කුලියට දී ඇති පොලිස් නිල නිවාස හඳුනාගනිමින් ඇති බවත් එම නිවාස පවරා ගැනීමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
සුවිශේෂී මෙහෙයුම් සහ රාජකාරිවල නිරත නිලධාරීන්ට ඔවුන් සේවයේ නිරතව සිටින ප්‍රදේශවල සහ ඒ ආසන්න ප්‍රදේශවල නිවාස ඇතත් තමන් කරන රාජකාරිමය කටයුතු හේතුවෙන් සිය නිවාසවල ජීවත්වීමට නොහැකි වාතාවරණයක් පවතින බව මේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීහු රැසක්ම පැවසූහ. එබැවින් ජීවිතාරක්ෂාව වෙනුවෙන් තමන්ට සිය පෞද්ගලික නිවාසවලින් ඉවත්ව නිල නිවාසවල ජීවත්වීම හැරුණුකොට වෙනත් විකල්පයක් නොමැති බව ද එම නිලධාරීහු පෙන්වා දෙති.
ගයාන් කුමාර වීරසිංහ