Home » පුංචි ඡන්දය: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවම ලැබී නෑ

පුංචි ඡන්දය: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවම ලැබී නෑ

- කථානායක කියයි

by sachintha
February 6, 2025 12:06 am 0 comment

පළාත් පාලන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙතෙක් තමා අතට නොලැබුණු බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ (05) දැනුම් දුන්නේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයාට දැනුම් දී තිබියදීත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහත්වරුන් ඇසූ ප්‍රශ්නයන්ට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව කියා සිටියේය.පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා-

“පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා වෙත යවා තිබෙනවා කියලා. එවැනි ප්‍රකාශයක් කළේ ඇයි කියලා දන්නේ නැහැ. තවමත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් කථානායකවරයා කී විදියට ලැබිලා නැහැ. මේ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව සිකුරාදා නැවත කැඳෙව්වා. ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තීන්දුවක් ගෙන නොමැතිනම් කැබිනට් ප්‍රකාශකවරයෙක්, ඇමැතිවරයෙක් විදියට කළ ප්‍රකාශය නිවැරදි නැහැ.”

ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා –

“කථානායකවරයා තවම නොලැබුණු බව පැවසුවානේ. එය තමයි නිවැරදි.”

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා –

“මේ ප්‍රකාශ කරන්නේ මම හෝ වෙනත් මන්ත්‍රීවරයෙක් නොවෙයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා. කැබිනට් ඇමැතිවරයෙක්. එවැනි ප්‍රකාශයක් එතුමා කළේ ඇයි.? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහෙම තීරණයක් දී නැත්නම් ඒක ඉල්ලා අස් කර ගන්න ඕනෑ. එවැනි ප්‍රකාශ කිරීම වැරදියි.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

“ශ්‍රේෂ්ඨාධිකරණය යම් කෙටුම්පතක් පිළිබඳ විභාග කර තීන්දුවකට එළැඹ එය එවනු ලබන්නේ කථානායකවරයා වෙත. කථානායකවරයාට එය ලැබුණු පසුව එතුමා සභාව දැනුම්වත් කරනවා. මේ ප්‍රකාශ නිසා ඔබතුමාගේ වරප්‍රසාදත් උල්ලංඝනය වෙලා තිබෙනවා. මේ 225 ත් වරප්‍රසාද උල්ලංඝනය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඒ ක්‍රියාවලිය කථානායකවරයාගෙන් අවසන් වීමට පෙර එය රටට ප්‍රකාශ වීම පිළිබඳ තමයි ගැටලුව. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එවා තිබෙනවා නම් කථානායකවරයා එය සභාවට ඉදිරිපත් නොකරන්නේ ඇයි කියලා තමයි අපි අහන්නේ. දැන් ඒ ගැන කථානායකවරයා පිළිතුරක් දුන්නා. ක්‍රමවේදය උල්ලංඝනය වීම තමයි ගැටලුව. මැතිවරණ කාලසටහනත් ඉදිරිපත් කළා.”

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT