නීති විරෝධී ලෙස අමෙරිකාවට සංක්‍රමණය වූ ඉන්දීය ජාතිකයන් 100 දෙනකු රැගත් ගුවන් යානයක් එරට පන්ජාබ් ප්‍රාන්තයට ගොඩ බැස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට ගමන් ඇරඹූ එම හමුදා ගුවන් යානයෙන් පැමිණි සංක්‍රමණිකයන් බාර ගැනීම ඉතා සුහදශීලී ආකාරයෙන් අදාළ බලධාරීන් විසින් සිදු කරනු ලැබූ බව ද වාර්තා වේ. අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝග මත නීතිවිරෝධී සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමේ වැඩසටහන යටතේ ඉන්දියානුවන් 18,000ක් පමණ රටින් ඉවත් කිරීමට පියවර ගන්නා බව අමෙරිකානු රජය ප්‍රකාශ කර තිබේ.
මේ අතර නීති විරෝධී ඉන්දියානුවන් රටින් පිටුවහල් කිරීමට අමෙරිකාවට සියලු ආකාරයේ අයිතිවාසිකම් තිබුණද, ඔවුන් හමුදා ගුවන්යානා මඟින් පිටුවහල් කිරීමට අමෙරිකාව ගෙන ඇති තීරණය පිළිබඳ ඉන්දීය කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායක ශෂී තරූර් සිය අප්‍රසාදය පළ කර ඇතැයි ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවය සඳහන් කළේය.