ජයන්ත කුමාර විල්මට් 1970 දශකයේ අග තංගල්ලේ කදුරුපොකුණ ගම්මානයේ උපත ලබා, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය පිළිබඳ උපාධිය ලැබූවෙකි. හේ අද වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරිවරයා ලෙස රාජකාරියේ නිරත වන්නේය. ඔහු විසින් රචනා කරන ලද ප්‍රථම නවකතාව ලන්ඩන් මියුසියම්ය. ලන්ඩන් මියුසියම් නවකතාව පිළිබඳ එහි ලේඛක ජයන්ත කුමාර විල්මට් සමඟ කළ කතාබහයි මේ.
l ඔබේ ලන්ඩන් මියුසියම් නවකතාවට වස්තු විෂය වන්නේ කුමක්ද ?
ඇත්තටම මෙහි වස්තු විෂය විප්ලවවාදියෙකුගේ ආධ්‍යාත්මය කියන එකයි. එය තවදුරටත් විස්තර කරනවා නම්, විප්ලවවාදීන් ආධ්‍යාත්මික ගුණ වගාවකින් යුක්ත වූවන් පිරිසක් බව බොහෝවිට සමාජය සිතන්නේ නෑ. එවන් ගුණයක් ඔවුන්ට නැති පිරිසක් විදියටයි සමාජයේ ඔවුන් සලකන්නේ. නමුත් ඔවුන්ගේ ආධ්‍යාත්මයේ දියුණුව කොතරම්ද යන්න 1971 අරගලයට ක්‍රියාකාරීව සම්බන්ධව වූ එක් අයෙක් වන මාගේ පියා (තංගල්ලේ විල්මට්) ගේ අත්දැකීම් ඇසුරෙන් මේ නිර්මාණය කළා. ඒකට වස්තු විෂය වූයේ තාත්තා මිය යන්නට පෙර,මාත් සමඟ කළ දීර්ඝ සාකච්ඡාවලදී මට උකහාගන්න ලැබුණු ඒ අයගේ ඇත්ත ස්වරූපය සහ සමාජයේ අය ඒ අය ගැන සිතාගෙන ඉන්න පරස්පරය මම දැකපු නිසායි. ඒ වගේම ඒ සත්‍යය මට නිවැරැදි කරන්න ඕන වුණා. 1971 අරගලයට දායක වුණු සියලු දෙනාට උපහාරයක් විදියට, තාත්තාගේ මරණින් වසරක් පිරෙන්න ආ 2025 ජනවාරි 26 දා මම මේ ග්‍රන්ථය තංගල්ලේදී එළිදැක්වූවා.
l එංගලන්තයේ පදිංචි ඔබ, මේ පොත එළිදක්වන්න ලංකාවේ තංගල්ල වගේ දුර පළාතක ගෙදරක් තෝරා ගත්තේ ඇයි ?
මේ කතාවෙ වස්තුබීජයේ මූලාරම්භය බිහිවෙන්නෙ තංගල්ල කදුරුපොකුණ කියන ගමේ, ඒ වගේම මේ කතාව ලියැවෙන්නෙ තංගල්ලේ විල්මට් සහෝදරයා නම් 1971 කැරැල්ලට සම්බන්ධව සිටි ජවිපෙ විප්ලවවාදියෙකුගෙ ජීවිත කතාව ආශ්‍රිතවයි. ඔහුගේ ඒ නිවස තමයි විල්මට් නිවස කියලා හඳුන්වන්නේ. ඒ නිවසෙ තමයි, මේ පොත එළිදැක්වීම සිදු කළේ. ඊට හේතුව ඔහුගේ සමකාලීනයන්ට ඒ නිවස ඉතා හුරුපුරුදු තැනක් වීමයි. මේ පොත එළිදැක්වීම ඔවුන් ඉදිරියේ කිරීමට උවමනාවක් මට තිබුණා. ඒ නිසයි මම ඒකට තංගල්ල තෝරා ගත්තේ. මගේ විශේෂ ආරාධිතයින් ලෙස ජවිපෙ පක්ෂ පාසල ලෙස හැඳින්වුණු තංගල්ල විතාරන්දෙණියේ රණවීර වලව්වේ හිමිකරු මෙන්ම 1977දී ජවිපෙ සීනුව ලකුණින් මුලින්ම තංගල්ල ආසනයෙන් මැතිවරණයකට ඉදිරිපත් වූ පළමුවැනියා වූ විජිත රණවීර සහෝදරයා සහ 1983දී නීති විරෝධී ආකාරයට හදිසියේ පක්ෂය තහනම් කිරීමෙන් පසු රෝහණ සහෝදරයාගේ ජීවිතය බේරාගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබා කටයුතු කළ කණ්ඩායමේ දැනට ජීවතුන් අතර සිටින අවසාන සාමාජිකයා වන සිරිපාල නෙත්තිකුමාර (කතරගම නෙත්ති සහෝදරයා) ඇතුළු ජවිපෙ ආරම්භක ජ්‍යෙෂ්ඨයන් රැසක් ඒ අවස්ථාවට සම්බන්ධ වුණා. ඉතින් ඒ අයගේ පැමිණීම මටත් මගේ පොතටත් ලැබුණු ගෞරවයක් විදියටයි මම දකින්නෙ.
l මේ ග්‍රන්ථයට “ලන්ඩන් මියුසියම්” කියලා නම යෙදුවේ ඇයි ?
මේ නම යෙදුවේ කුතුහලයක් ඇති කරන්නයි. ඒ වගේම ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතුණා. ඒක සංකේතවත් කරන්නත් ඕන වුණා. ඒවගේම මම දැන් ජීවත් වෙන්නේ ලන්ඩන්.
මේ නවකතාවේ, මියුසියම් තුනක් ගැන කතාව ගලාගෙන යනවා. ඉන් එකක් තමයි කාල් මාක්ස්ගේ නිවස. ඒක තියෙන්නේ ජර්මනියේ ප්‍රිය නගරයේ. අනිත් එක තමයි එංගල්ස් නිවස. ඒක පිහිටලා තියෙන්නේ බාල්ටන් නගරයේ. අනිත් එක තමයි තංගල්ලේ නිවස. ඒක තියෙන්නේ මගේ හිතේ. ඒක හදාගෙන යන්න තමයි මේ පොත ලිව්වෙ. නමුත් මේක කතාවේ හරය නොවෙයි. නම පිළිබඳ හැඳින්වීම පමණයි.
l අපි දකින සාමාන්‍ය නවකතාවකට වඩා මෙහි කවරය වෙනස්. ඒ ගැන ඔබට යම් අදහසක් ඇති ?
මෙහි සෑම අඟලක් පාසාම අදහසක් තියෙනවා. මෙහි ඇති බුදුරුව නියෝජනය කරන්නේ නිර්වාණයයි. ඒ කියන්නේ ආධ්‍යාත්මික විමුක්තියයි. අනෙක් පසෙන් චරිත තුනක් පෙන්නුම් කරනවා. එයින් අදහස් කරන්නේ ලෞකික විප්ලවය කළ අයයි.
1. ආධ්‍යාත්මික විප්ලවය මෙහි ගුරුවරයා බුදුන් වහන්සේ. උන්වහන්සේ ඉගැන්වීම නිවනයි.
2. ලෞකික විප්ලවය මෙහි ගුරුවරයා කාල් මාක්ස්. ඔහුගේ ඉගැන්වීම සමාජවාදයයි.
3. මේ කොටස් දෙකට මැද ඉන්නේ මෑත කාලීනව ලංකා ඉතිහාසයේ විප්ලව අරගල සිදුවූ අවුරුදුවල සාරාංශයක්. 1818 උඩරට කැරැල්ල, 1848 ඌව වෙල්ලස්ස කැරැල්ල, 1971 අප්‍රේල් කැරැල්ල. මේ අරගල තුනේම කැරලිකරුවන්ට විරුද්ධව තිබූ චෝදනා පත්‍රය එක සමානයි. ඒ තමයි බ්‍රිතාන්‍ය මහා රැජිනට විරුද්ධව කැරලි ගැසීම.1971 කැරැල්ල බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව සිදුවූ ශ්‍රී ලංකාවේ අවසාන සටනයි. 1971 කැරැල්ලේ ප්‍රතිඵලයක් විදිහට තමයි, 1972දී ශ්‍රී ලංකාව කියන ජනරජය බිහිවුණේ. එතෙක් අපේ රටේ නම තමයි, බ්‍රිතාන්‍ය යටත් කොලනිය. 1971 අරගල කළේ බ්‍රිතාන්‍ය යටත් කොලනියේ සිටි කොල්ලෝ කෙල්ලෝයි. මේ දේ ඔළුවේ තියාගෙන තමයි, අපි 1971 කැරැල්ල දිහා බලන්න ඕනෑ. නමුත් ඒ කිසිවක් නොදැන 1971 කැරැල්ල ළදරු වලිප්පුවක් කියලා අවඤ්ඤාවට ලක් කිරීම හිතාමතා ආණ්ඩු විසින් ගොතන ලද අවලාදයක් පමණයි. ඊළඟට 1987 ඉන්දියානු ආක්‍රමණය. මේවා ගැන ඉඟියක් කවරයෙන් දෙනවා.
l මේ ග්‍රන්ථයේ අන්තර්ගත සැකසීම ගැන කතා කරමු. ?
මේකෙ පරිච්ඡේද 31ක් තියෙනවා. ඒ 31 නම් කරලා තියෙන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය සමන්විත වන ඊට අනුබද්ධ කොලීජි 31 නම්වලින්. Peterhouse clate, Gonville Caius, Jesus,Trinity Sidney Sussex, Girton ඉන් කිහිපයක්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට උපහාරයක් ලෙසට ඒ විදිහට නම් කළා. ඒ වගේම මේ ග්‍රන්ථය ලියන්න මට සෙවණ දුන්නේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයයි.
සමාජවාදී සංකල්පය තමයි බුදු දහමට ළඟම. ධනවාදී සංකල්පයේ පරමාර්ථය එකතු කර ගැනීමයි. තණ්හාවයි. සමාජවාදයේ සුහද බව, බෙදා ගැනීම සහ සාධාරණත්වය කතා කෙරෙනවා. පක්ෂයේ අයගේ ආධ්‍යාත්මික විප්ලවය ගැන මට ඉස්මතු කරන්න ඕනෑකම තිබුණා. ආධ්‍යාත්මික විප්ලවයක් යනුවෙන් අදහස් කෙරෙන්නේ, බුදුන් වහන්සේ දේශනා කළ නිවනට සමීපවයි. ඒ නිවන් මඟට යන ගුණ වගාව. කොයිතරම් දුරට සිදු වෙනවාද කියන එක ගැන, පරිච්ඡේදයක් හැර පරිච්ඡේදයක් මෙහි කතා කෙරෙනවා. ඒ අනුව අවසානයේ විප්ලවාදියාගේ ආධ්‍යාත්මය ගැනත්, ආධ්‍යාත්මිකයන්ට විප්ලවය ගැනත් හොඳ අවබෝධයක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා. නමුත් මේක එකට ගැළපීම ඉතා දුෂ්කර ව්‍යායාමයක් බව මට වැටහුණා. කෙසේ වෙතත් මම උපරිම උත්සාහයක් දැරුවා ඒවා වෙන වෙනම තබාගෙන රසවත් කතාන්දරයක් විදියට මෙය පාඨකයාට ගෙන එන්න.
l සමාජයට කිසියම් පණිවිඩයක් අරන් යන්න ඔබ උත්සාහ කරනවාද ?
ඔව්. ඇත්තෙන්ම. තරුණ තරුණියන්ට ඇත්ත කියලා දෙන්න මාධ්‍යයක් නෑ. අලුත් පරපුරට මේ ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු මේ විප්ලවීය දර්ශනය ටෙලි නාට්‍යයක් හරහා රැගෙන එන්නත් අදහසක් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි පරිවර්තනයකට යන්නත් අදහසක් තියෙනවා. විප්ලවවාදීන්ගෙ සිත්වල තිබූ ආධ්‍යාත්මික දියුණුව කෙතරම්ද යන්න පිළිබඳ අදහසක් නූතන පරපුරට ලබා දෙන්න මෙයින් මම උත්සාහ කරනවා. බුදුන් වහන්සේ වදාල නිවන දකින්න බලාපොරොත්තු වන ඕනෑම කෙනෙකුට මුලින්ම සෑබෑ සමාජවාදියෙකු විය යුත්තේ ඇයි දැයි මෙයින් අදහසක් ලබාගනු හැකි වේවි. මන්ද යත් ඔවුන් තරම් නිවනට ළංව සිටි කිසිවෙකු මට නම් සොයාගත නොහැකියි.
ශ්‍යාමා සමරසිංහ
ඡායාරූපය – ශාන් රඹුක්වැල්ල