Home » විපක්ෂය එකතු වුණාට වැඩක් නෑ

විපක්ෂය එකතු වුණාට වැඩක් නෑ

-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක

by sachintha
February 6, 2025 3:07 am 0 comment

මහින්ද නිල නිවෙස ලොකු කළේ දේශපාලනය කරන්න

සමබරව ගියොත් සාර්ථක වෙන්න පුළුවන්

දේශපාලනය කියන්නේ ඉවසිලිවන්තව දීර්ඝ සැලසුමකට කළ යුතු දෙයක්

අාණ්ඩුව යන ගමන හොඳයි

ඔහු වසර තිස්පහකට ආසන්න කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේම ඇමැතිවරයකු ලෙසද කටයුතු කළේය. වර්තමාන දේශපාලන වාතාවරණය, නව ආණ්ඩුවේ ගමන් මඟ, හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීම සහ විපක්ෂයේ පක්ෂ අතර නැවත සන්ධානගත වීම යනාදී කරුණු කාරණා පිළිබඳ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන එස්.බී. දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

නව ආණ්ඩුව බලයට පැමිණ දැන් මාස තුන ඉක්මවා ගියා. මේ කාලය තුළ ආණ්ඩුවේ ගමන ගැන ඔබේ අදහස කුමක්ද ?

මම අවුරුදු ගණනක දේශපාලන අත්දැකීම් එක්ක කතා කරන්නේ. දැනට මේ ආණ්ඩුව යන ගමන හොඳයි කියන අදහසෙයි මම සිටින්නේ. මේ ගමන හෙමින් කල්පනාවෙන් යන්න ඕනෑ. කල්පනාකාරීව, දේශපාලන වශයෙන් උපායශීලි විදිහට ඔවුනට ඉදිරියට මේ ගමන යන්න පුළුවන් නම් ඉතිහාසයේ වාර්තාගත ජයග්‍රහණයක් කළ මේ ආණ්ඩුවට රටත් වෙනස් කිරීමට හැකියාව ලැබෙන බව ස්ථිරයි. අද වන විට ආසියාව තුළ සහ ලෝකයේ දේශපාලනය විශාල වෙනස්කම්වලට භාජනය වෙමින් තිබෙන කාලයක්. ඒ වෙනස්කම් තේරුම් ගනිමින් ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ විදිහේ ලොකු බලයක් 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතාටත් ලැබුණා. එහෙත් ඔහුට ඉන්දියාව සහ අමෙරිකාව හරියට බැලන්ස් කර ගන්න බැරි වුණා. ඒ නිසා ඔහුට අර්බුදවලට මුහුණ දෙන්න සිදු වුණා. මම හිතනවා අනුර කුමාර දිසානායක මහතා වඩාත් බුද්ධිමත්ව මේ ආණ්ඩුව ඉදිරියට අරන් යයි කියලා. අද වෙද්දි මේ ආණ්ඩුව සමබර ප්‍රතිපත්තියක සිටිනවා. ඉන්දියාවට අවශ්‍ය සැලකිල්ල ලබා දෙමින් චීනයට නැඹුරු දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තියක් ඇතිව තමයි ආණ්ඩුව කටයුතු කළ යුතුව තිබෙන්නේ. එය ජනාධිපතිවරයා හොඳින් තේරුම්ගෙන කටයුතු කරන බවක් පෙනෙනවා. ආසියාවේ වාමවාදී නැඹුරුවක් සහිත ආණ්ඩු සාර්ථක වෙලා තිබෙනවා. ඒ ආදර්ශය අප රටටත් අදාළ කර ගන්න පුළුවන්. මේ ආණ්ඩුව මේ ආකාරයට සමබරව ගමනක් ගියොත් සාර්ථක වෙන්න ලොකු අවස්ථාවක් තිබෙනවා. අද වෙද්දී අර්බුද ලෙස මතු කරන්න උත්සාහ කරන්නේ සහල් සහ පොල් මිල අර්බුදයයි. ඇත්තෙන්ම මෙය අර්බුදයකට නොගොස් විසඳා ගන්න තිබූ දේවල්. මේ මාස හතරකට කිට්ටු කාලය තුළ ඒ ගැටලු දෙක හැර සමස්තයක් විදිහට ආණ්ඩුව සාර්ථක තත්ත්වයක තිබෙනවා.

ඒත් විපක්ෂය කියන්නේ ආණ්ඩුව අසාර්ථකයි කියලා ?

මොන විපක්ෂයද කියන්නේ ආණ්ඩුව සාර්ථකයි කියලා. හැම විපක්ෂයක්ම උත්සාහ කරන්නේත් ආණ්ඩුව අසාර්ථකයි කියන මතය සමාජයට කාන්දු කරන්න. ඒත් ආණ්ඩුව තවමත් අසාර්ථකයි කියන්න තරම් හේතු සාධක නැහැ.

විශාල පරාජයකට මුහුණ දුන් විපක්ෂයේ පක්ෂ නැවතත් සන්ධානගත වීමට සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

සාකච්ඡා කිහිපයක් ගැන වාර්තා වෙනවා. ඒ අතර එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා වටයක් පැවැත්වෙනවා. ඒ අතර කලක් වමට බරව මැද සිටි පොහොට්ටු, සිලින්ඩරයට ගිය පොහොට්ටුවේ කණ්ඩායම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල්ලා, ගම්මන්පිලලා වෙනම සාකච්ඡාවක් යනවා. එජාපය සහ සමගි බලවේගය උත්සාහ කරන්නේ නැවතත් දක්ෂිණාංශය ශක්තිමත් කරන්න අද වෙද්දි දක්ෂිණාංශය විසිරිලා ගිහින් තිබෙන්නේ, ශක්තිමත් විදිහට පවතින්නේ වාමාංශික මතධාරි ජාතික ජන බලවේගය පමණයි.ඒ තත්ත්වය තුළ එජාපය සහ සමගි ජන බලවේගය සාකච්ඡා කර එකතු වුණොත් දක්ෂිණාංශයේ යම් ශක්තිමත්භාවයක් ඇති වෙයි.

ඒ කියන්නේ තුනෙන් දෙකකට වැඩි බලයක් තිබෙන ආණ්ඩුවට එය අභියෝගයක් වෙයිද ?

විශාල බලයක් සහිතව සිටින ආණ්ඩුවට අතරමැද කාලය තුළ අභියෝගයක් එල්ල කිරීම ප්‍රතිඵල රහිතයි. මගේ අදහසට අනුව මේ ආණ්ඩුව තමන්ගේ නිල කාලය පහසුවෙන් ගත කරනවා.

පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔවුන් සමඟ කටයුතු කළ කණ්ඩායම් නැවත එකතුවීමට කරන සාකච්ඡාවලට මොනවගේ ඉරණමක් අත්වෙයි කියා ඔබ විශ්වාස කරනවාද ?

ඒ අය උත්සාහ කරන්නේ මධ්‍යස්ථ දේශපාලන බලවේගයක් විදිහට යම් ශක්තියක් ලබා ගැනීමටයි. එහෙත් ඒ සාකච්ඡා සාර්ථක කර ගන්න අමාරුයි. සාර්ථක වුණත් ඔවුනට බලයක් ගොඩනඟා ගන්න බැහැ. මේ වෙද්දී ඉතාමත් ශක්තිමත්ව ජාතික ජන බලවේගය දේශපාලනය තුළ ස්ථාවර වෙමින් සිටින්නේ. ඒ නිසා ඒ තත්ත්වය තුළ පොහොට්ටු, ශ්‍රීලනිප බලවේගයට ලොකු සාර්ථකත්වයක් ලබා ගැනීම දුෂ්කර දෙයක් විදිහටයි මම දකින්නේ.

මේ අවස්ථාවේදී එම කණ්ඩායම් මොනවගේ දේශපාලන ස්ථාවරයකද සිටිය යුත්තේ ?

අලුත් ආණ්ඩුවක් ආපු ගමන් හදිසියේ දැඟලුවට ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. දේශපාලනය කියන්නේ ඉවසිලිවන්තව දීර්ඝ සැලසුමකට කළ යුතු දෙයක්. ඒත් ඒ දේ අපේ මිත්‍රයො තේරුම් අරන් නැහැ. ඒත් ජාතික ජන බලවේගය ඉවසීම පිළිබව හොඳ ආදර්ශයක් ලබා දී දේශපාලනය තුළ සාර්ථකත්වය අත්පත් කරගෙන තිබෙනවා.

මන්ත්‍රී වරප්‍රසාද අඩු කිරීම, විශ්‍රාම වැටුප් නවතා දැමීම පිළිබඳව පසුගිය කාලයේදී දේශපාලන වේදිකාව තුළ විශාල කතාබහක් ඇති වුණා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළද එම කරුණු ඇතුළත්ව තිබෙනවා ?

මන්ත්‍රි වරප්‍රසාද ලබා දීම කියන්නේ අලුත් දෙයක් නොවෙයි. නාස්තිකාර නොවන විදිහට යම් වරප්‍රසාද ප්‍රමාණයක් තිබිය යුතුයි. එයට හේතුව විදිහට මම දකින්නේ යම් වරප්‍රසාද ප්‍රමාණයක් වැටුප් ලබා දීමක් අවශ්‍යයි. සිංගප්පූරුවේ තමයි මන්ත්‍රීවරුන්ට ඉහළම වැටුප් ලැබෙන්නේ. ඒත් ඒ රටේ දූෂණය අල්ලස නැහැ. එහෙම වරදක් කළොත් ලැබෙන්නේ දැඩි දඬුවම්. ඉහළ වැටුප් ලබා දීම නිසා මන්ත්‍රීවරුනට අනිසි මාර්ගවලින් මුදල් හම්බ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටෙත් එවැනි ක්‍රමයකුයි නිර්මාණය වෙන්න ඕනෑ. එහෙම කිරීම තමයි වඩාත් සුදුසු දේ විදිහට මම හිතන්නේ.

ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම, නිල නිවෙස් නැවත ලබා ගැනීම වැනි කරුණු පිළිබඳව මේ දිනවල ලොකු කතාබහක් ඇතිව තිබෙනවා, මේ තීරණය පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද ?

දැනටමත් තුන්දෙනෙක්ම නිල නිවෙස් අත්හැරල තිබෙන්නේ. තව තුන් දෙනෙක් ඉන්නවා. මහින්ද, චන්ද්‍රිකා, මෛත්‍රී මේ අයත් නිවෙස් භාර දෙනවා නම් හොඳයි. ආණ්ඩුව යම් තීරණයක් ගෙන තිබෙනවා නම් ඒ තීරණයට අනුගතවීම තමයි හිටපු ජනාධිපතිවරු විදිහට ඒ අයගේ වගකීම සහ යුතුකම විය යුත්තේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙස පිළිබඳව කතා කරද්දී ඔහුට ලබා දී තිබෙන නිල නිවෙස පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙනවා. ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේ නිවෙස වර්ග අඩි තිස්දහසක් තරම් විශාල ඉඩක් ලබා දීම ප්‍රශ්නයක් බවයි, ඒ අදහස ගැන ඔබේ මතය කුමක්ද ?

මහින්ද රාජපක්ෂ මේ ගේ ලොකු කරගත්තේ එයාට විශ්‍රාම දිවිය ගත කරන්න නොවෙයි. තමන්ගේ දේශපාලන කටයුතුත් පහසුවෙන් කරගෙන යන්නයි. ඔහු අදත් පොදුජන පෙරමුණේ නායකයා විදිහට කටයුතු කරන්නේ. ඔහු කරන්නේ දේශපාලනයක්. ඔහුගේ ලොකු කර ගත්තේ පදිංචියට නොවෙයි දේශපාලනය කරන්න. පදිංචියට නම් මේතරම් ලොකු ගෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දේශපාලනය කරන එක රාජපක්ෂ මහතාගේ අයිතියක්. ඒකට කිසිවකුට විරුද්ධ වෙන්න බැහැ. ඒත් දේශපාලනය කරන්න නිල නිවෙස ලොකු කර ගැනීම නිසයි මේ ගැටලුසහගත තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ.තමන්ගෙ තත්ත්වය තියාගෙන ගෙවල් ටික ආණ්ඩුවට භාර දීමයි වඩාත් සුදුසු දේ වන්නේ. ආණ්ඩුවත් මේ ප්‍රශ්නය පස්සෙම යන්නෙ නැතිව ඉක්මන් තීරණයක් ගන්න ඕනැ. මොකද ආණ්ඩුවට මේ ප්‍රශ්නයට වඩා ලොකු ප්‍රශ්න විසඳන්න තිබෙනවා.

අර්බුද විසඳා ආර්ථිකය ද යම් ස්ථාවරත්වයකට පත් කිරීමට වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබුණත්, ඔහුගේ පාලනය අවුරුදු දෙකක් තුළ කඩා වැටුණා ?

රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවෙන් සහාය අරන් ජනාධිපති වුණාට ඔහු පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටෙවුවේ නැහැ. ඒ නිසා ඔහුට අවශ්‍ය කරන බිම් මට්ටමේ සහාය ලැබුණේ නැහැ. අවුරුදු විස්සකට කිට්ටු කාලයක් ආණ්ඩුවට බිමේ සහාය ලැබුණේ සමෘද්ධිය නිසා. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සමෘද්ධිය පිළිබඳව තැකීමක් කළේ නැහැ. ඔහු කළේ සමෘද්ධිය අක්‍රිය කිරීමයි. ඒ නිසා පොහොට්ටුවේ බිම් මට්ටමෙන් ලැබෙන්න ඕනෑ සහාය නොලැබීමයි වුණේ. ඔහු පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටෙවුවා නම් තවත් අවුරුදු පහකට ජනාධිපති වෙනවා.

රනිල් වික්‍රමසිංහ ආර්ථිකය ශක්තිමත් කර යම් ගමනක් යාමට උත්සාහ කළා. ඒත් ඔහුට දේශපාලන වශයෙන් සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් තමයි ඔහුගේ පරාජය. ඇත්තෙන්ම ගෝඨාභය විසින් කඩා දමන ලද ආර්ථිකය, වික්‍රමසිංහ මහතා විසින් නැවත නඟාසිටුවනු ලැබුවා. ඒක විශ්මිත ආර්ථික වර්ධනයක්, අර්බුද කළමනාකරණයක් විදිහටයි මම දකින්නේ.

ආර්ථිකය මේ විදිහට කඩා වැටෙන්නට හේතුව කුමක්ද ?

රාජපක්ෂ යුගයේදී ඉහළ වර්ධනයක් ආර්ථික වශයෙන් පෙන්නුම් කළා. එහෙම තියෙද්දි තමයි යහපාලන ආණ්ඩුව ආවේ. යහපාලන ආණ්ඩු කාලයේදි ආර්ථිකය විශාල ලෙස කඩා වැටුණා. එසේ කඩා වැටුණු ආර්ථිකය ගෝඨාභය රාජපක්ෂ යුගයේදී තවදුරටත් කඩා වැටුණා. එය නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ ගමන ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි.

වර්තමාන ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව ඔබේ අදහස කුමක්ද ?

දැන් තත්ත්වය තුළ ආර්ථිකයේ ලොකු සෙල්ලම් දාන්න බැහැ. එදා ආරම්භ කළ ගමන මේ ආණ්ඩුවත් ප්‍රවේශමෙන් කරගෙන යා යුතුයි. වර්තමාන ආණ්ඩුවත් ඒ තත්ත්වය වටහාගෙන තමයි ප්‍රවේශම්සහගතව ඉදිරියට ගමන් කරන්නේ.

උදිත ගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT