Home » රාජ්‍ය සේවක වැටුප්, යුතුකම් සහ අයිතිවාසිකම්

රාජ්‍ය සේවක වැටුප්, යුතුකම් සහ අයිතිවාසිකම්

by sachintha
February 6, 2025 1:00 am 0 comment

නව රජයේ මංගල අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 17 වැනිදාය. මේ අය වැය ලේඛනයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා රුපියල් බිලියන 90ක මුදලක් වෙන් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මීට අමතරව, තවත් මහජන සුභසාධන කටයුතු සඳහා ද රුපියල් බිලියන ගණනක් වෙන් කොට ඇති බව ඒ ආරංචි මාර්ගවල සඳහන් වේ.

මේ ආරංචිය රජයේ සේවකයන්ට අතිශය ප්‍රීතිදායක පුවතක් බව නිසැක ය. ගත වූ කාලය මුළුල්ලේ ම රජයේ සේවකයන්ගේ පාර්ශ්වයෙන් නැඟුණු දුක් අඳෝනාවක් වූයේ තමන්ට ප්‍රමාණවත් තරම් වැටුපක් නොලැබෙන බවයි. රාජ්‍ය සේවයේ තරම් වැටුප් විෂමතා පිළිබඳ අර්බුද, වැඩවර්ජන, උද්ඝෝෂණ ඇති වූ වෙනත් ක්ෂේත්‍රයක් නැති තරම්ය.

කෙසේ නමුත් බරපතළ ණය කන්දක සිර වී සිටි‍්, එමෙන් ම බංකොලොත්භාවයට පත්ව සිටියා යැයි නාමකරණය වූ ශ්‍රී ලංකාව වැනි රටක, සමස්ත අය වැයෙන් රාජ්‍ය සේවක වැටුප් සහ මහජන සුභසාධනය සඳහා මුදල් වෙන් කිරීම යන කාරණය ඉතා විමසිල්ලෙන් සහ පරිස්සම්සහගතව කළ යුතු කාරණයකි.

රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුත්තකි. එමෙන්ම එහි ඵලදායිතාව ද මැන බැලිය යුත්තකි. සමස්ත රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමේ හදවත වනුයේ රාජ්‍ය සේවකයන්ය. එබැවින් රාජ්‍ය සේවකයන් තෘප්තිමත් මනෝභාවයක පවත්වා ගැනීම අතිශය වැදගත් කාරණයකි. පුද්ගල ජීවිතයේ උපතේ සිට මරණය දක්වා – එනම්: උප්පැන්න සහතිකය ලබා ගැනීමේ සිට මරණ සහතිකය ලබා ගැනීම දක්වා – පුද්ගල ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් සඳහා රාජ්‍ය සේවය නිරන්තරයෙන් බැඳී සිටී. එයින් රාජ්‍ය සේවය සහ මහජනතාව එකිනෙකින් වෙන් කළ නොහැකි තරමට බැඳුණු අංශ දෙකකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ සිටින රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව දහතුන් ලක්ෂ අනූහතරදහසකි. මිලියන 23කට ආසන්න වූ මෙරට ජනතාවට සේවය කිරීම ඔවුන්ගේ රාජකාරිය වේ. ඔවුන්ගේ ඒ සේවාවට වැටුප් ගෙවන්නේ ජනතා බදු මුදලිනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය පිළිබඳ ධනාත්මක අදහස් මෙන් ම ඍණාත්මක අදහස් ද අසන්න ලැබේ. ඵලදායි රාජ්‍ය සේවයක් සඳහා වන කළමනාකරණය පිළිබඳ කතාබහක් ද විවිධ අවස්ථාවල යෝජනා විය. එමෙන්ම රාජ්‍ය සේවය අකාර්යක්ෂම වී ඇත යන්නත්, රාජ්‍ය සේව‍ෙය් දේශපාලනීකරණය වී ඇත යන්නත් එයට එල්ල වූ චෝදනා අතර වෙයි. ඒවා කවරක් වුවත්, රාජ්‍ය සේවයෙන් පරිබාහිර ව රාජ්‍ය යන්ත්‍රණය ක්‍රියාත්මක කළ නොහැකි බව ඕනෑ ම අයකුට අවබෝධ වන කාරණයකි.

රාජ්‍ය සේවයේ අර්බුදය සහ එය දේශපාලනීකරණය වීම පිළිබඳ මීට පෙර අවස්ථා කිහිපයක දී විගණකාධිපති දෙපාර්තමේන්තුව ද අදහස් දක්වා තිබිණි. එහි සඳහන් ව තිබුණේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය එහි ධාරිතාව දෙගුණයකින් පමණ ඉක්මවා ගොස් ඇති බවයි. ඉතා සරලව කිවහොත්: 1977 වසරේ ක්‍රියාත්මක වූ රාජ්‍ය පාලන ක්‍රමවේදයෙන් රාජ්‍ය සේවයේ අර්බුදය නිර්මාණය වූ අතර‍, 2005 වසරේ බලයට පත් වූ පාලන ක්‍රමවේදයත් සමඟ එය දේශපාලනීකරණය වූ බව හඳුනාගත හැකි ය. බොහෝ දේශපාලනඥයන් මැතිවරණවලදී තමන්ට උදවු කළ හිතවතුන්ට රැකියා දීමට තොග පිටින් පත්වීම් සහ උසස්වීම් පිරිනැමීමට රාජ්‍ය සේවය අවභාවිත කළ බව ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම අයකුට පැහැදිලි වන කාරණයකි. මේ නිසා නුසුදුස්සන් රාජ්‍ය සේවයට ඇතුළත් වීම ද රාජ්‍ය සේවයේ සේවක ධාරිතාව ඉක්මවා යෑම ද සිදු විය.

මහ බැංකු වාර්තා පෙන්වා දෙන පරිදි, රාජ්‍ය බදු ආදායමෙන් 85%කට ආසන්න ප්‍රමාණයක් වැය වන්නේ රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ය. එබැවින් නිශ්චිත මූල්‍ය විනයක් සහිත රාජ්‍ය සේවයක් ගොඩනඟා ගැනීම ද එකී රාජ්‍ය සේවය ඵලදායිතාව කාර්යසාධනය මැන බැලීමේ ක්‍රමවේදයක් සකස් කිරීම ද අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ. එමෙන් ම ජාතික වගකීමකින් යුතු රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම සඳහා වන මූලික පසුබිම සකස් කිරීම ද පමා වී හෝ කළ යුතුව ඇති කාරණයකි. රටේ ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය සේවයෙන් ලැබෙන දායකත්වය අතිමහත් වීම ඊට හේතුවයි.

එබැවින් රාජ්‍ය සේවයට වැටුප් වැඩි වීම පිළිබඳ කාරණය හුදු ජනප්‍රිය දේශපාලනික සටන් පාඨයක් ලෙස භාර ගැනීමට අප සූදානම් නැත. එය විධිමත් රාජ්‍ය සේවයක් ගොඩනඟා ගැනීමේ පියවරකට තබන අඩිතාලමක් ලෙස හඳුනාගැනීමට අපි කැමැත්තෙමු. දේශපාලනීකරණයෙන් තොර වූ රාජ්‍ය සේවයක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් ව ඇත්තේ එබැවිනි.

රාජ්‍ය ආයතනවල දුර්වල කළමනාකාරිත්වය හා දේශපාලනීකරණය ඉවත් කිරීම ද ඉක්මනින් කළ යුතු කාරණයකි. රාජ්‍ය ආයතන යනු විගණනයට යටත් වන ආයතන වේ. එහෙයින් මේවායෙන් වියදම් වන සෑම මුදලක් ම නිශ්චිත ගිණුම් මිනුම් සහිත විගණනයට යටත් විය යුතු ක්‍රමවේදයක් සකස් විය යුතුය.

සිංගප්පූරුවේ ජනපති ලී ක්වාන් යූ වරක් ප්‍රකාශ කළේ, රාජ්‍ය විගණනය මත පදනම්ව රටක් දියුණු කළ හැකි බවයි. විගණනයට විරුද්ධ වන්නේ රාජ්‍ය ධනය සොරකම් කළ සොරුන් බව ඔහු ප්‍රසිද්ධියේ සඳහන් කළේය. එහෙයින් විගණනයට යටත් වන, විනිවිද පෙනෙන කාර්යක්ෂම සහ යුතුකම් සහ වගකීම් ඉටු කරන රාජ්‍ය සේවයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය කාරණයකි.

එකී අර්ථයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය සුබවාදී ලෙස හඳුනා ගැනීමට අපි කැමැත්තෙමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT