Wednesday, April 23, 2025
Home » මහ කන්නයේ වී අස්වනු රජය මිලදී ගන්නා මිල ගණන් මෙන්න

මහ කන්නයේ වී අස්වනු රජය මිලදී ගන්නා මිල ගණන් මෙන්න

by chanaka
February 5, 2025 4:04 pm 0 comment

ගොවීන්ගේ මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මිල ගණන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ප්‍රමිති ගත (වේලන ලද) නාඩු (සුදු/රතු) වී කිලෝවක් සඳහා රුපියල් 120 ක මිලක් ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125 ක මිලක් ද, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132 ක මිලක් ද වී අලෙවි මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වී මිලදී ගැනීම හෙට (06) සිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා මඟින් සිදු කෙරේ.

ගොවියාට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැයට සියයට තිහක ප්‍රතිශතයක් එකතු කර මෙම මිල ගණන් සකස් කර ඇති අතර ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය රුපියල් කෝටි 500 ක මුදලක් අනුමත කර තිබේ. වී මිලදී ගැනීම සිදුවන ප්‍රමාණයන් මත එම මුදල් කොටස් වශයෙන් වී අලෙවි මණ්ඩලය වෙත බැර කිරීම සිදුකිරීමට නියමිතය.

වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ මිල ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත,කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ,අද(05) කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණී.

වී අලෙවි මණ්ඩලයේ ප්‍රකාශිත මිල ගණන්වලට වඩා වැඩිමිලකට යම් මෝල් හිමියෙකු ගොවීන්ගේ වී අස්වනු මිලදී ගන්නේ නම් එයට විරුද්ධ නොවන බවත් වී මිලදී ගැනීමේ මාෆියාවන්ට හසු නොවී තම වී අස්වනුවලට ඉහළ මිලක් ලබා ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත තම වී තොග ලබාදෙන ලෙසත් කෘෂීකර්ම ඇමතිවරයා ගොවි ජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් කළේය.

බුද්ධිකා ඉඹුලාන

ඡායාරූපය-මාලන් කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT