මඩ යනු අප්‍රිකාවේ සම්ප්‍රදායික ඉදිකිරීම් අමුද්‍රව්‍යයක්. කොන්ක්‍රීට් හා සැසඳීමේ දී මඩ, වඩාත් පහසුවෙන් ගොඩනැඟිලි සිසිල් කර ගැනීමේ ගුණයෙන් යුතු වෙනවා. උණුසුම් වෙමින් පවතින ලෝකයේ අප්‍රිකානු වාස්තු විද්‍යාඥයින් වඩ වඩාත් මඩෙහි අලංකාරත්වය දියුණු කළ හැකි සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සජීවීව තබා ගත හැකි ක්‍රම පිළිබඳ ව පර්යේෂණාත්මක අත්හදාබැලීම් සිදු කරමින් සිටිනවා.
ජනතාවගේ ජීවන මට්ටම ඉහළ යන විට කොන්ක්‍රීට් සඳහා වන ප්‍රවේශය පුළුල් වෙනවා. එමෙන්ම, ලෝකයේ ඇතැම් උණුසුම් හා දිළිඳු භූ දර්ශන වේගයෙන් වෙනස් වෙනවා. එබඳු පසුබිමක සාම්ප්‍රදායික ඉදිකිරීම් අමුද්‍රව්‍ය සහ ඒවාවේ භාවිතයට පාදක වන ඉදිකිරීම් ශිල්පීය ක්‍රම අත්හැරීම සැලකෙන්නේ ප්‍රගතියේ ලකුණක් වශයෙන්. නමුත්, දේශගුණික විපර්යාස හේතුවෙන් දැනටමත් උණුසුම් ප්‍රදේශ, වඩ වඩාත් උණුසුම් වන අතර, කොන්ක්‍රීට් එම උණුසුම්වීමට ඉන්ධන සපයනවා. කොන්ක්‍රීට්වල ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලිය ගෝලීය කාබන් ඩයොක්සයිඩ් විමෝචනයෙන් 8% ක් පමණ වන බව අනාවරණය වී තිබෙනවා.
මෙබඳු පසුබිමක, සාම්ප්‍රදායික ගොඩනැඟිලි ඉදිකිරීමේ ශිල්පීය ක්‍රම වෙනුවෙන් පෙනී සිටින ගෘහ නිර්මාණ ශිල්පීන් හා වාස්තු විද්‍යාඥයින් අවධාරණය කරන්නේ, දේශගුණයෙන් පීඩාවට පත් ප්‍රජාවලට සාම්ප්‍රදායික ආකාරයෙන් සාදන ලද නිවාස, පාසල් සහ සිවිල් ගොඩනැඟිලි වඩ වඩාත් අවශ්‍ය බවයි. බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ (Burkina Faso) හි ගෘහ නිර්මාණ ශිල්පියකු සහ පරිසර සංවේදී ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ගෝලීය වශයෙන් කීර්තිමත් උපදේශකයෙකු වන ෆ්‍රැන්සිස් කේරේ පවසන්නේ, “යථාර්ථය නම්, සිමෙන්ති ඉදිකිරීම් හුදෙක් ම අනුරාගිකයි. නමුත් එය නරක අනුරාගිකත්වයක්. එය සැනසීමක්, සුවපහසුවක් සලසන්නේ නැහැ.” යනුවෙන්.
මඩ බිත්ති, ප්‍රමාණවත් තරම් ඝන ලෙස ඉදිකරන විට, විශාල තාපයක් අවශෝෂණය කර ගබඩා කළ හැකි වන අතර, සන්ධ්‍යා කාලයේ පිටත උෂ්ණත්වය සිසිල් වන විට එය විසුරුවා හැරෙනවා. නමුත් ඊට වෙනස් ව, තුනී කොන්ක්‍රීට් කුට්ටි, තාපය නිදහසේ, වේගයෙන් උණුසුම් වන අභ්‍යන්තරය හරහා ගමන් කිරීමට ඉඩ සලසනවා. කේරේ වැනි ගෘහ නිර්මාණ ශිල්පීන් සිය අප්‍රිකානු උරුමය සහ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් අර්ධ වශයෙන් මෙම තාක්ෂණය භාවිතයට පෙළඹී සිටිනවා.
සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු, ආකර්ෂණීය නමුත් බොහෝ දුරට නැතිවී ගිය මඩ ඉදිකිරීමේ සම්ප්‍රදාය පැවති රටවල්ද සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ශිල්පයේ සෞන්දර්ය සහ සිසිලන ලක්ෂණ (සුළං උමං මාර්ග ඇතුළත් කිරීම, දිශානතිය ගොඩනැඟීම සහ සෙවණ භාවිත කිරීම) අනුකරණය කිරීමට උත්සාහ කරනවා. ඔවුන් වරක් භාවිත කරන ලද ඉදිකිරීම් ද්‍රව්‍ය කෙරෙහි දක්වන්නේ අඩු උනන්දුවක්.
අබුඩාබිහි තිරසාරභාවයක් සහිත ප්‍රධාන නගරයක් වන මස්ඩාර්හි, සැලසුම් කළමනාකරණ ප්‍රධානී ක්‍රිස් වාන් පවසන ආකාරයට, “අපේ මුතුන් මිත්තන් තමන් සතු ව තිබූ ඕනෑ ම දෙයක් සමඟ දේවල් ගොඩනඟා ගත්තා. සමහර විට ඔවුන්ට වසර 500 කට පෙර යම් ආකාරයක නවීන සංයුක්ත ජනේලයක් තිබුණේ නම්, ඔවුන් එය භාවිත කරනු ඇති. වර්තමානයේ මෙලෙස මඩ භාවිත කර සිදුකරන ඉදිකිරීම් යනු සම්ප්‍රදායික අමුද්‍රව්‍යවලට, සම්ප්‍රදායික ඉදිකිරීම් සැලසුම්වලට ජනතාව අනුහුරු කිරීමක්. එපමණක් නො ව, අපේ විධික්‍රම තුළ උපරිම හොඳම දේ අපි ඉදි කරනවා.”
ප්‍රධාන වශයෙන් ම අප්‍රිකාව තුළ, මඩ ගඩොල් භාවිතය පණගන්වන්නන්ට තිබෙන්නේ දැවැන්ත අභිලාෂයක්. ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචනයෙන් 4% ක් පමණක් වන මහාද්වීපයක, දේශගුණය හා සම්බන්ධ නරක ම බිඳවැටීමෙන් බොහෝ දුක් විඳිමින් සිටින අතර, තාපය පරාජය කිරීමේ දී, ස්වදේශීය, ස්වභාවධර්මය පදනම් කරගත් සම්ප්‍රදාය විදේශීය තාක්ෂණය සහ ප්‍රවීණත්වය තරම් ම වැදගත් විය හැකි බවයි, මෙම ගෘහ නිර්මාණ ශිල්පීන් පෙන්වා දෙන්නේ.
“අපි තෝරාගෙන තිබෙන්නේ මායාවක්. අපි අපේ මූලයන්ගෙන් ගැලවීම තෝරාගෙන තිබෙනවා.” සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පිනියක වන සලිමා නජි පවසනවා. මොරොක්කෝවේ මඩ ඉදිකිරීම් ප්‍රවර්ධනය වෙනුවෙන් සටන් කරන ඈ, මෑත දශක කිහිපය තුළ කෘත්‍රිම ඉදිකිරීම් අමුද්‍රව්‍යවලට දැඩි සේ පිටුපා ඇති බවත්, මොරොක්කෝව ලෝකයේ පෘථිවි ගෘහ නිර්මාණ ශිල්පයේ පොහොසත් ම එකතුවකින් එකක් බවත් පෙන්වා දෙනවා. “අපි මෙය කර තිබෙන්නේ, උණුසුම තුළ මේ ගොඩනැඟිලිවල සුවිශේෂ ප්‍රතිලාභ අපට අමතක වී තිබෙන නිසයි. නමුත් අපට එය අන් කවරදාටත් වඩා දැන් අවශ්‍ය බව අප මතක තබා ගත යුතුයි.”
සවාඩෝගෝ, මඩ නැවත ජනප්‍රිය කිරීමේ ගෝලීය සංවිධානයක ක්‍රියාකාරිනියක්. ඇයට ඒ වෙනුවෙන් පෙන්වා දෙන්නට කරුණු බොහොමයක් තිබෙනවා. මේ සඳහා වන අමුද්‍රව්‍ය නොමිලේ ම හෝ අඩු ගණනේ දේශීය ව සපයා ගත හැකි අතර, එය කොන්ක්‍රීට් සඳහා දැරීමට සිදුවන පිරිවැය හා සැසඳීමේ දී ඉතා අඩු ප්‍රතිශතයක්. ආනයනය කළ අමුද්‍රව්‍ය අවශ්‍ය වන්නේ කිහිපයක් පමණයි. කම්කරු කණ්ඩායම් විශාල ගම්මාන අසල පොළොවෙන් මඩ ගෙන ඒවා ඍජුකෝණාශ්‍රාකාර හැඩයට අච්චු මගින් සකස් කොට අව්වේ වියළාගෙන ගඩොල් නිපදවා ගන්නවා.
“මිනිස්සු මට කියනවා, මේක 21 වන සියවස. මඩ භාවිත කිරීම නවත්වන්න කියලා. ඒත් මේ ගොඩනැඟිල්ල දිහා බලන්න. මෙහි නවීන නො වන දේ කුමක් ද?” සවාඩෝගෝ වෛද්‍ය මධ්‍යස්ථානය දෙසට සංඥා කරමින් ඇය පවසනවා.
මඩ ඉදිකිරීම්, ගෝලීය උෂ්ණත්වය ඉහළයාමට දක්වන්නේ සුළු දායකත්වයක්. නමුත් කොන්ක්‍රීට් ගොඩනැඟිලි, පොසිල ඉන්ධන ගිජු ලෙස දහනය කරන තවත් නිපදවීමකට දොරටුවක් විවෘත කරනවා. ඒ, වායු සමීකරණය සඳහා. ලොව පුරා ම, විදුලි බලය හා සිසිලකයන් අවශ්‍ය වීමෙන්, වායු සමීකරණය කිරීම හරිතාගාර වායු විමෝචනයේ මූලයක් ලෙස වර්ධනය වෙමින් තිබෙනවා.
ඉල්බොවුඩු අබ්දුල්ලා, කොන්ක්‍රිට්වලින් ඉදිකොට ලෝහ තහඩු සෙවිලි කොට තිබූ තමන්ගේ නිවස මෑතක දී සම්පූර්ණයෙන් ම මඩෙන් නැවත ගොඩනඟා තිබෙනවා. “දැන් උණුසුම නිසා දුක් විඳීමක් නැතිව නිවස තුළ කාලය ගෙවීමට හැකි වීම මොනතරම් සතුටක් ද කියා මට ඔබට කියා ගන්නට නො හැකි තරම්” ඔහු පවසනවා.
ජාත්‍යන්තර සංවිධානයක් වන The Nubian Vault Association 2020 දී බුර්කිනා ෆාසෝ පෞද්ගලික නිවාස විශාල සංඛ්‍යාවක් ඉදිකිරීමට ආධාර කර තිබෙනවා. එම සංවිධානය විසින් නිර්දේශිත, යටි අඩ කව වහල ආකෘතියට, කොන්ක්‍රීට් හා මඩ යන නිවාස වර්ග දෙකෙහි ම උණුසුම වැඩි වර්ධනය කරන ලෝහ වහලවල් හෝ දැව අවශ්‍ය වන්නේ නැහැ. වන සංරක්ෂණ නිලධාරීන්ට අනුව, සමහර වහල ආධාරක සඳහා වසරකට වනාන්තර අක්කර 600,000 ක් පමණ අහිමි වන රටක එය ඉතා වැදගත්.
National Geographic සඟරාවේ පුවත්පත් කලාවේදී Peter Schwartzstein සඳහන් කරන්නේ, තමන් නැරඹීමට ගිය මඩවලින් ඉදි කරන ලද වෛද්‍ය මධ්‍යස්ථාන හතරක වෛද්‍යවරු, පසුගිය දශකය තුළ තාපය ආශ්‍රිත හේතු මත රෝහල්ගත කිරීම් සහ මරණ ගණන දළ වශයෙන් පස් ගුණයකින් වැඩි වී ඇති බව වාර්තා කළ බවයි. එසේ ම, ඔවුන්ගෙන් සමහරෙක් සැක කරන්නේ මෙම රෝගීන්ගෙන් සාපේක්ෂව සමානුපාතික නො වන සංඛ්‍යාවක් තමන්ගේ නිවාස, කොන්ක්‍රීට්වලින් අලුතෙන් නැවත ගොඩනඟාගෙන ඇති නමුත් ඒවා කෘත්‍රිම ව සිසිල් කර ගැනීමේ අඩුවක් ඇති බවයි.
මෙම වෛද්‍ය මධ්‍යස්ථාන වෙත අලුතෙන් ඇතුළු වන රෝගීන් ඒවාහි වන ස්වභාවික ව ම සිසිල් වාට්ටු ගැන පුදුම වෙනවා. මෙම ගොඩනැඟිලිවල නිර්මාණකරු වන ෆ්‍රැන්සිස් කේරේ, එහි බලපෑම ගැන සතුටු වන නමුත්, පුදුමයට පත් වන්නේ නැහැ. “එය අමුද්‍රව්‍ය ගැන යමක් පමණක් නො වන බව අපි ඉගෙන ගෙන තිබෙනවා. එය අනිවාර්යයෙන්ම කොන්ක්‍රීට් නරක වීම ගැන නො වෙයි, එය ඔබ ඒවා සමඟ කරන දෙයයි. ප්‍රශස්ත මැටි ව්‍යුහයක් සෑදීමට ඔබ කාලය ගත කරන විට එයින් අවසාන ප්‍රතිඵලය වන්නේ මෙයයි.” ඔහු පවසනවා. 2022 මාර්තු මාසයේ දී ඔහු, ගෘහ නිර්මාණ ශිල්පය හා සම්බන්ධ වඩාත්ම කීර්තිමත් සම්මානය වන ප්‍රිට්ස්කර් ත්‍යාගය (Pritzker Prize) දිනාගත් පළමු අප්‍රිකානු ගෘහ නිර්මාණ ශිල්පියා බවට පත්වුණා.
මායාකාරී සිසිලන බලයක් සහිත මඩ ගඩොල් ගොඩනැඟිලිවල ප්‍රධාන අඩුපාඩුවක් පෙනෙන්නට තිබෙනවා. ඒ ඇතැම් ගොඩනැඟිලි කඩා වැටීමයි. දේශගුණික විපර්යාසයේ බොහෝ කටුක උත්ප්‍රාසය තුළ, තාපයට එරෙහි ව මඩේ වැදගත්කම තහවුරු කර ඇති එම උණුසුම් වීම, මඩ ව්‍යුහයන්ට හානි කරන වඩාත් ආන්තික කාලගුණික සිදුවීම් ද අවුළුවනවා.
සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය සහ ගොඩනැඟිලි ඉදිකිරීම් ශිල්පීය ක්‍රම වෙනුවෙන් පෙනී සිටින්නන්ට, නාගරීකරණය විසින් ඉදිරිපත් කරන්නේ විශේෂිත අභියෝගයක්. යේමනයේ සියවස් ගණනාවක් ඉපැරණි ගොඩනැඟිලි මෙන්, මඩ, ඓතිහාසික වශයෙන් නාගරික පරිසරයක යොදවා ඇතත්, අප්‍රිකාව පුරා ඉදිවී ඇති ආකාරයේ නගරවල එහි ස්ථානය ගැන ගෘහ නිර්මාණ ශිල්පීන්ට ඇත්තේ බියක්. එම වේගයෙන් වර්ධනය වන අගනගරවල සැඟවුණු, සැලසුම් නො කළ ස්වභාවය සෑම විට ම සුළං දිශාව, වාතය ගලායාම සහ අනෙකුත් ස්වභාවික සිසිලන උපාංග ඵලදායී ලෙස භාවිත කිරීමට ඉඩ දෙන්නේ නැහැ.
රක්ෂණ සමාගම් සහ මහ නගර සභා ඔවුන්ගේ පැත්තෙන්, මඩවල ආරක්ෂාව ගැන අවබෝධ කරගෙන නැති බැවින් ඔවුහු එහි භාවිතයට එරෙහි ව නිතර නීති සම්පාදනය කරනවා. නාගරික සැකසුම් තුළ සාම්ප්‍රදායික ඉදිකිරීම් ද්‍රව්‍ය ලබා ගැනීම පවා පුදුම සහගත ලෙස දුෂ්කරවීමට පිළිවන්.
නමුත් තවමත් පරාජය නො පිළිගන්නා සලිමා නජි වැන්නන්, මොරොක්කෝව පුරා ගම්වැසියන් අතර මඩ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි වැඩි උනන්දුවක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. මොරොක්කෝවේ කොන්ක්‍රීට් නිෂ්පාදනය සීමා කිරීමට හෝ අවම වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට ඇති දැඩි පාරිසරික අවශ්‍යතාව නජි සහ ඇගේ සගයින් ඉස්මතු කරනවා. නමුත් සම්ප්‍රදායක්, මිනිසුන්ගේ කල්පනාවෙන් දැනටමත් ගිළිහී ගොස් ඇති විට එය නැවත පණ ගැන්වීම බරපතළ කාර්යයක්.
වර්ෂා කාලවල සෑම එකක් ම ඊට පෙර වර්ෂා කාලවලට වඩා විනාශකාරී වී ඇති අතර, කඩා වැටුණු පාසලක් හා කීර්තිමත් පල්ලියක කොටසක් ඇතුළු බුර්කිනා ෆාසෝ පුරා ඇති මඩ ගඩොල් ගොඩනැඟිලි සිය ගණනක් මැකී ගොස් තිබෙනවා. එබඳු පසුබිමක් කොන්ක්‍රීට් සඳහා වන ඝෝෂාව ශක්තිමත් කර ඇති නමුත්, ප්‍රැන්සිස් කේරේගේ දුරකථනය නාද වන්නේ වැඩ සඳහා ඉල්ලීම් සමඟින්. මඩ භාවිතයේ බලාපොරොත්තු ගැන ඔහුගේ උනන්දුව නොනිවෙන්නක්.
“එය කාලය පිළිබඳ කාරණයක්, එය විශ්වාසය පිළිබඳ කාරණයක්, එය දේශපාලන කැමැත්ත පිළිබඳ කාරණයක්. එය සටනක් වන අතර, අපි වමට සහ දකුණට බලන්නේ නැහැ. මම මේ තාක්ෂණය ඉදිරියට තල්ලු කරනවා. දැන් ගොඩක් දැනුම රැස් කරගෙන තියෙනවා. තව අවුරුදු 10කින් ඔබ අපේ සාර්ථකත්වය ගැන පුදුම වේවි.” ප්‍රැන්සිස් කේරේ පවසන්නේ මඩ භාවිතයෙන් ගොඩනැඟිලි ඉදිකිරීමේ තාක්ෂණයේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙනයි.
National Geographic ඇසුරිණි.
ප්‍රභාත් චින්තක මීගොඩගේ