මෙවර පෙබරවාරි 4 නිදහස් දිනය යනු 1948 සිට වසර හැත්තෑ හතක් පුරා සැමරූ තවත් නිදහස් දිනයක් පමණක් ද ? එසේ නොවේනම් විවිධ සංකේතාත්මක හේතු හා ඉතිහාසයේ විධිධ සිදුවීම් නිසා ඇතැම් වසරවල සැමරූ විශේෂිත නිදහස් දිනයන් කිහිපය අතරට එක් වූ තවත් එවැනි සැමරුම් දිනයක් ද ?
මගේ කියැවීම අනුව මෙවර නිදහස් දිනය වනාහී කලින් කී විශේෂිත ලෙස සමරන්නට යෙදුණු නිදහස් දිනයන් කිහිපය පියවර කිහිපයකින් ඉක්මවා ලන තරම් වැදගත් කමකින් යුතු පශ්චාත් යටත් විජිත ලංකාවේ සුවිශේෂීම නිදහස් දින සැමරුම වන බවයි.
1948 දී අප යටත් විජිත ස්වාමියාගෙන් ලද ඊනියා නිදහස අර්ධ නිදහසක් වන බව සෑහෙන සාකච්ඡාවට ලක් වූ ප්‍රකට මතයකි. ලංකාවේ ප්‍රභූ පාලක පංතීන් විසින් ජනගත කළ මතවාදයට අනුව 1948 දී අපට ලැබුණේ ඩොමිනීයන් තත්ත්වයේ නිදහසක් වන අතර 1972දී ලංකා ජනරජය නිර්මාණය කරන තෙක් බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනයට අදාළව මුළුමනින්ම අප රටක් ලෙස නිදහස් වී තිබුණේ නැත. එම අධිපති ප්‍රභූ පාලක මතවාදයට එරෙහිව ජනප්‍රිය වූ මතවාදයකට අනුවද 1948 දී අපට ලැබුණේ අර්ධ නිදහසකි. ඊට අනුව 1948 දී සුදු ජාතික ස්වාමියා විසින් රටේ ආණ්ඩු පාලනය පවරා ගියේ ස්වදේශීය කොම්ප්‍රදෝරු ධනපති පංතිය වෙතට ය. සරලව කිවහොත් ‘කළු සුද්දන්ගේ’ ස්ථරයක් වෙත ය. ඊට එරෙහිව ස්වදේශීය රටවැසියාගේ පැත්තෙන් ලබාගත යුතුව තිබූ නිදහසක පළමු බලවත් වෙඩිමුරය ලෙස නම් කෙරුණේ 1956 සිදු වූ ආණ්ඩු මාරුව හා ඒ ආශ්‍රිතව ඇති වූ සමාජ-සංස්කෘතික පෙරළියයි. ‘බමුණු කුලය බිඳවැටීම’ හෝ ’56 විප්ලවය’ වැනි යෙදුම් වලින් එවක සිදුවූ එම ‘වෙනස’ නම්කරන ලදී.
එහෙත් තමන් කොම්ප්‍රදෝරු ‘කළු සුද්දන්’ නොව ඊට එරෙහිව ස්වදේශීය පොදු ජනතාවගේ මතවාදය දරා සිටින්නන් යැයි පෙන්නුම් කළ මෙම පනස් හයේ බලවේගය අතින් වුවද, සිදුවූයේ අර යටත් විජිත හා පශ්චාත් යටත් විජිත ප්‍රභූ පාලක පංතියේ දේශපාලන බලය යළි සහතික කිරීමකි.එම පනස් හයේ බලවේගය සමන්විත වූයේ රූපිකව පංච මහා බලවේගය ලෙස හඳුන්වා ගත් ග්‍රාමීය අතර මැදි පංති ශ්‍රේණීන් ගෙනි. ඉහත කී ප්‍රභූ පාලක පංතීන් විසින් සිදුකළේ එම බහුතර අතර මැදි පංතීන්ගේ මතවාදය පාලන දෘෂ්ටිවාදය බවට පත් කරගනිමින් සිය දේශපාලන බලය සුජාත කරගැනීමකි. අන්‍යෝන්‍ය සන්ධානගත වීමකි. එජාප සේනානායකලා කොම්ප්‍රද්‍රෝරු ධනපතීන් වෙද්දී එම ප්‍රභූ අතීතයෙන්ම පැමිණි පාලක පංති කණ්ඩායමක් වූ ශ්‍රීලනිප බණ්ඩාරනායකලාට ජාතික-ජනතාවාදී වෙස්මුහුණක් ලැබුණේ ඉහත ග්‍රාමීය බහුතර අතරමැදි පංති-ශ්‍රේණීන්ගේ අනුහසිනි.
එම ප්‍රභූ පාලක ස්ථරයට ජනතාවාදී වර්ණය හොඳින්ම වැදුණේ කලක් යටත් විජිත අධිරාජ්‍යවාදයටත් ස්වදේශීය ප්‍රභූ පංතියටත් එරෙහිව සටන්කාමීව හඬනැඟූ ලංකාවේ සමසමාජ -වාම ව්‍යාපාරයත් 60 දශකයෙන් පසු ශ්‍රීලනිපයෙන් නියෝජනය වූ ඊනියා ජාතික ධනපති පංතිය සමඟ සම්මුතිගත වීම මගිනි.
එහෙත් 71 අරගලය විසින් සංකේතවත් වූයේ 1956 ශ්‍රීලනිප පාලක ප්‍රභූ පංතිය සමඟ සම්මුතිගත වූ ග්‍රාමීය අතරමැදි පංති බලවේග හවුලට ඔබ්බෙන් ස්වදේශීය නිර්ප්‍රභූ පහළ මාලයේ ජනතාවගේ සමාජ-පන්තිමය අභිලාෂයන් වර්ධනය වී පැවති බවයි. එතෙක් ලංකාවේ පාලක ශ්‍රේණින් විසින් කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයන් දීපව්‍යාප්තව සිදුකිරීමට අපොහොසත් වීමේ ප්‍රතිවිපාකයන්ට ග්‍රාමීය අතරමැදි සමාජ ස්ථරයන් මුහුණ පා තිබිණි. සුළු ඉඩම් මත පදනම් වූ ගැමි-කෘෂි ආර්ථිකය නවීකාරක ප්‍රතිසංස්කරණයකට ලක් නොවීමත්, තමන්ව ඇතුළත් කර ගැනීමට සමත් වන පරිදි පුළුල් වන නාගරික ශ්‍රමෝත්පාදක ආර්ථිකයක් නොවීමත් මත ග්‍රාමීය අතරමැදි සමාජ ස්ථරයේ තරුණ බලවේගය මත සමාජ අතෘප්තියක් ගොඩනැඟී තිබිණි. 71 අරගලය යනු එහි එක් තීරණාත්මක ප්‍රකාශනයකි.
එසේම 56 බල හවුල කළු සුද්දන්ගේ බමුණු කුලයට එරෙහිව ස්වදේශීය මුහුණුවරක් ප්‍රදර්ශනය කළද, එය සැබවින්ම සිංහල-බෞද්ධ වාර්ගිකත්වය මත පදනම් වූ බල පෙරළියක් විය. ඉන් උතුරු-නැඟෙනහිර ප්‍රමුඛ ලංකාවේ දෙමළ ජනතාව ආන්තික කර දැමීය. 1972 දී ස්ථාපිත කෙරුණු නව ජනරජය බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් පූර්ණ නිදහස් වීමක් ලෙස සහතික කළ ද,56 සිංහල-බෞද්ධ රාජ්‍යකරණය විසින් සිදු කෙරුණු දෙමළ ජනතාව බැහැර කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් සහතික කෙරුණේ ද එම 1972 ව්‍යවස්ථාපිත ක්‍රියාවලියෙනි. උතුරේ දෙමළ ජාතිකවාදී තරුණ බලවේගය සිංහල-බෞද්ධ රාජ්‍ය සැකැස්මට එරෙහිව රැඩිකල් සන්නද්ධ ප්‍රතිරෝධයක් වෙත තල්ලු කෙරෙන්නේ ද, ඉහත පියවරට පසුව ය.
ඒ අනුව 1972 ජනරජය පූර්ණ නිදහසක් ලෙස පෙන්නුම් කළ ද, දකුණේ ග්‍රාමීය සිංහල නිර්ප්‍රභූ තරුණ බලවේගයත්, උතුරු-නැඟෙනහිර ප්‍රමුඛ දෙමළ නිර්ප්‍රභූ තරුණ බලවේගයත් එකී ව්‍යවස්ථාපිත නිදහසින් අවතක්සේරු කර හා බැහැර කර තිබිණි. 1978 දෙවන ජනරජය නාමයෙන් කරළියට පැමිණි විවෘත ආර්ථික වැඩපිළිවෙළ රාජ්‍ය මර්දනයෙන් දියත් කිරීමට පටන්ගත් පසු ඉහත කී සිංහල හා දෙමළ තරුණ බලවේගයන්ගේ ප්‍රතිරෝධය වඩා උත්සන්න වන්නට විය. 80 දශකය තුළ උතුරේත් දකුණේත් පැනනැඟි බරපතළ සිවිල් යුධ තත්ත්වය එහි පැහැදිළි ප්‍රතිඵලයයි. එම මහා ප්‍රචණ්ඩත්වය තුළ නිදහස් රාජ්‍යයක් පිළිබද අරුතක් නොවී ය.
90 දශකය ඇරඹෙන්නේ දකුණේ සිංහල රැඩිකල් තරුණ බලවේගය ලෙයින් හා යකඩින් මර්දනය කළ වුවද, උතුරු-නැඟෙනහිර දෙමළ රැඩිකල් තරුණ බලවේගය සිය සන්නද්ධ ක්‍රියාමාර්ගය අඛණ්ඩව වර්ධනය කරනු ලැබීය. 90 න් පසු ලංකාවේ සිංහල දකුණ ප්‍රතිවිරෝධයකින් තොරව විවෘත ආර්ථිකයේ නව ලිබරල් යුගය වැළඳ ගනු ලැබී ය. එය දකුණේ සමාජයට නිදහසක් ලෙස පෙන්නුම් කළද, සැබවින්ම රටේ ආර්ථික ස්වාධිපත්‍යය අහිමි වීම වේගවත් කෙරුණේද, එම ඊනියා නිදහස් දශකය තුළය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙළෙඳපොළ හස්තයන්ගේ පැහැදිළි ගොදුරක් වන්නේ ද, එම 90 දශකයත් සමඟ ය.
ඒ අනුව 90 දශකය හා 2000 දශකය දිවෙන්නේ විවෘත වෙළෙඳපොළ නිසා උත්කර්ෂණය කෙරුණු අරාජික දේශපාලනය හා බිහිසුණු යුධමය ප්‍රචණ්ඩත්වය මැදිනි. 90 දශකය අග දකුණේ ක්‍රමිකව මතු වූ නව සිංහල-බෞද්ධ ජාතිවාදී ප්‍රවණතාවය ද ඉහත දැක්වූ ව්‍යාකූලත්වයේ තවත් ප්‍රතිඵලයක් හා ප්‍රතිචාරයක් විය. ජනතාවාදී මුහුණුවරකින් මතු වූ එම සිංහල-බෞද්ධ දේශපාලන ප්‍රවාහය තුළ 80 දශකයේ ජවිපෙ හරහා නියෝජනය වූ දකුණේ සිංහල රැඩිකල් තරුණ ව්‍යාපාරයේ ඊළඟ මතුවීම සේම 90 දශකයේ විවෘත වූ නව වෙළෙඳ අවස්ථාවන්ගෙන් වරප්‍රසාද නෙළාගත් දක්ෂිණාංශික-ජාතිවාදී දේශපාලන ධාරාවද ඇතුළත් විය. ප්‍රතිඵලය ලෙස මහින්ද රාජපක්ෂ නම් වූ අලුත් දේශපාලන සාධකය ඉහළට එසවීමත්, 2009 යුද්ධය සිංහල-බෞද්ධ ජාතිකවාදයේ විජයග්‍රහණයක් ලෙස අවසන් කිරීමත් සිදුවිය.
2009 යුද්ධාවසානය අධිපති සිංහල-බෞද්ධ දේශපාලන කතිකාව විසින් මතවාදීව තහවුරු කෙරුණේ ‘දෙවැනි නිදහස් අරගලය’ ලෙස ය. එහෙත් උතුරු-නැඟෙනහිර දෙමළ සමාජයේ හා රටේ සමස්ත දෙමළ ජනතාවගේ සාමූහික ආත්මය බරපතළ ලෙස තුවාල වී තිබිණි. තමන් යළිත් සිංහල-බෞද්ධ දේශපාලන ආධිපත්‍යයේ යටත්වැසියන් වී ඇති බවක් දෙමළ ජනතාවගේ නව හැඟීම විය. උතුරු-නැෙඟනහිර දෙමළ සමාජය නව යටත් විජිතයක් වී ඇති බවක් භෞතිකවම පෙන්නුම් කෙරුණි. 2009 න් පසු උතුරු-නැඟෙනහිර හමුදා මිලිටරි ආධිපත්‍යය තවදුරටත් වර්ධනය කිරීමත්, ආරක්ෂක වැය තවදුරටත් ඉහළ දැමීමත්, යුධමය ජයග්‍රහණය දිගින් දිගටම උත්කර්ෂණය කිරීමත් විසින් ඉහත කී යටත්කරණ ව්‍යාපෘතිය නිශ්චිතවම පැහැදිළි විය. දෙමළ ජනතාවට ‘නිදහස’ නම් වූ සාමූහික හැඟීම අහිමි කර තිබිණි.
ඊට සමාන්තරව දකුණේ විජයග්‍රාහී ප්‍රතිරූපය වූ රාජපක්ෂ පවුල් සමාගම හා එහි අනුග්‍රහය ලද නව කොන්ත්‍රාත්කාර ව්‍යාපාරික පංතිය අලුත් ප්‍රභූ දේශපාලන ආධිපත්‍යයක් ලෙස ඉහළට වැජඹෙමින් දකුණේ සිංහල සමාජයේ ආර්ථික යුක්තිය අහිමි කරන්නට විය. ඊනියා සංවර්ධනය හා ආයෝජනයන් නාමයෙන් රටේ ආර්ථිකය කොල්ලකන්නට විය. මහජන ධනය සිය පවුල්වාදී හවුලේ බූදලයක් ලෙස සලකමින් කටයුතු කරන්නට විය. ඊට ගැළපෙන පරිදි රාජ්‍ය මර්දනය භාවිත කෙරිණි. භීතිය සමාජය හැසිරවීමේ උපක්‍රමයක් ලෙස යහමින් යොදාගැණිනි. සිංහල-බෞද්ධ දෘෂ්ටිවාදී බල ඇණිය සතු කුමන්ත්‍රණ න්‍යායන්ගේ සහයෝගය ද ඊට අනුපාන සැපයීය. එනම් දකුණේ සමාජයට ද ‘නිදහසක්’ නොවී ය.
2015 යහපාලනය නාමයෙන් පැමිණියේද ප්‍රභූ-ව්‍යාපාරික දේශපාලනය තවදුරටත් ආරක්ෂා කරගැනීමේ ව්‍යාපෘතියකි. එය රාජපක්ෂ පාලනයේ අත්තනෝමතිකත්වය නිසා ව්‍යාකූල වූ ප්‍රභූ-ව්‍යාපාරික දේශපාලන ක්‍රියාවලිය යළි තහවුරු කිරීමකි. එම ඊනියා යහපාලන ආණ්ඩුවද විවිධ සාධක මත දුර්වල වූ විට ඉහත කී ප්‍රභූ-ව්‍යාපාරික දේශපාලනයේ ඊළඟ ආරක්ෂකයා ලෙස ප්‍රාදූර්භූත වූයේ ගෝඨාභය රාජපක්ෂ හා එම බල හවුලයි. එතැන් පසුව වූ මෑත දේශපාලන සිදුවීම් ගැන යළිත් අමුතුවෙන් මතක් කිරීමේ අවශ්‍යතාවයක් නැත.
ඉනික්බිති 2022 අරගලය විසින් මෙම මාෆියා ප්‍රභූ-දේශපාලන පංතිය තීරණාත්මක අඩපණ කිරීමකට ලක් කළ අතර එහිම දිගුවක් ලෙස සිදු වූ 2024 බල පෙරළිය විසින් එය ඓතිහාසික පරාජයකට පත්කරනු ලැබීය. මෙතෙක් සිංහල-බෞද්ධ අධිපති රාජ්‍යයෙන් දෙවෙනි පෙළ පුරවැසියන් බවට පත්කර තිබූ දෙමළ ජනතාවගේ ඓන්ද්‍රීය දායකත්වය ද මෙම දේශපාලන පරිවර්තනයට විශාල ශක්තියක් විය. ඒ අනුව මෙතෙක් රට පාලනය කළ ප්‍රභූ දේශපාලන පරපුර වෙනුවට නිර්ප්‍රභූ පොදු ජන අභිලාෂ නියෝජනය කරන පාලක ශ්‍රේණියක් රටේ ආණ්ඩු බලටය පැමිණ ඇත. එය සිංහල නිර්ප්‍රභූ ජනතාවගේ තෝරාගැනීමක් පමණක් නොවී දෙමළ නිර්ප්‍රභූ බහුතර ජනතාවගේ ද තෝරාගැනීමක් වීම පැහැදිළිවම ඓතිහාසික සිදුවීමකි. හැරවුමකි.
ඒ අනුව 2025 පෙබරවාරි 4 නිදහස් සැමරුම යනු ලංකාවේ ‘සැබෑ නිදහසක්’ වෙතට හැරුණු නව පරිවර්තනීය ගමනක ඇරඹුම පැහැදිළිවම සංකේතවත් කරන්නකි. සිදු වූ දේශපාලන පරිවර්තනය සමාජයීය හා ආර්ථික තලයේ පරිවර්තනයක් බවට තවම පත් වී ඇත. ඊළඟ’නිදහස් අරගලයන්’ දියත් විය යුතුව ඇත්තේ ඒ දෙසටය.
විදර්ශන කන්නන්ගර