Wednesday, April 23, 2025
Home » ජාතික සටනේ ද්‍රවිඩ හා මුසල්මානු දායකත්වය

ජාතික සටනේ ද්‍රවිඩ හා මුසල්මානු දායකත්වය

by sachintha
February 5, 2025 1:00 am 0 comment

යටත් විජිත ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් වරින් වර දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ ද, ශ්‍රී ලාංකිකයින් ඉන් කිසිවිටෙකත් සෑහීමකට පත් නොවුණි. සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයන් එකම රටක් වෙනුවෙන් හිරු නොබසින අධිරාජ්‍ය සමඟ සටන් වැදුණේ ජාතික නිදහස ලබා ගැනීමට ය. ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පුරෝගාමී වීරයෝ ලෙස පෙනී සිටියහ. වර්ෂ 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුවේ මේ සියලුදෙනාගේ කැපකිරීම් නිසා බව අප අමතක නොකළ යුතු ය.

විශේෂයෙන් ජාතික නිදහස් සටන් ව්‍යාපාරයට ජනතා සහාය ලබා ගැනීමට ජාතික ව්‍යාපාරයේ නායකත්වය මෙන්ම බෞද්ධ පුනරුද ව්‍යාපාරය ප්‍රමුඛව කටයුතු කර තිබේ. හදවතට ආමන්ත්‍රණය කළ කතාබහ නිසාම හෙළ ජාතිය පිළිබඳව කැක්කුමක් ඇති නායකයන් බිහිවීමත්, අනෙක් අතට පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස ද්‍රවිඩ හා මුස්ලිම් ජාතිකයන් ජාතික සටනට එකතු වීමත් සිදුව තිබේ. ඒ අනූව මේ ව්‍යාපාර දෙකම එකට බද්ධව තිබු බව සඳහන් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ නිදහස් ව්‍යාපාර සමයේ දී ආචාර්ය බද්යුදීන් මහ්මූද්, ශ්‍රීමත් රාසික් ෆරීඩ්, දොස්තර එම්.සී.එම්. කලීල් සහ ආචාර්ය ටී.බී. ජයා වැනි මුස්ලිම් නායකයන් ද, පොන්නම්බලම් අරුණාචලම්, පොන්නම්බලම් රාමනාදන්, කේ. බාලසිංහම් හා ආරුමුගම් නාවලර් වැනි දෙමළ නායකයින්ද සහ ඇස්.ජී. පෙරේරා පියතුමා, වැනි බර්ගර් ජාතික නායකයින්ද නිදහස ලබා ගැනීම සහ දේශයේ ස්වාධීනත්වය, ස්වාධිපත්‍යය වෙනුවෙන් සිංහල නායකයින් සමඟ එකතුව සටන් කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.

1939 වර්ෂයේ මාර්තු 5 වෙනිදා කොළඹ සහිරා විදුහල් ක්‍රීඩා පිටියේ ශ්‍රීමත් මොහමඩ් මාකන් මාකර්ගේ ප්‍රධානත්වයෙන් පැවති ජන රැලියකදී ව්‍යවස්ථාදායක මණ්ඩලයේ මුස්ලිම්වරුන්ට ප්‍රමාණවත් නියෝජනයක් නොමැති බව පෙන්වාදෙමින් කතා කළ සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ මහලේකම් ආචාර්ය බද්යුද්දීන් මහ්මූද් මහතා අවසන් වශයෙන් මෙසේ සඳහන් කළේ ය. “සියල්ලටම ප්‍රථමයෙන් සිරිලකට පූර්ණ නිදහස ලැබිය යුතු යැයි බල කර සිටින දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගෙන් මා ද කෙනෙකු බව මාගේ සිංහල සොයුරන් හට අවධාරණයෙන් කියනු කැමැත්තෙමි.සිංහල වැසියන් තම සංස්කෘතිය හා ජාතිකත්වය සංරක්ෂණය කරගැනීමේ අරමුණින් ගෙන යන නිදහස් සටන ඉහළින් අගය කරමින් එයට මුළු හදින් සහය දෙන්නන් අතර මා ද කෙනෙකු වෙමි. යැයිද සඳහන් කරමි. එපමණක් නොව ඔබට විශ්වාසනීයම මිතුරන් හා දයාන්විත අසල්වැසියන් ලෙසින් මුස්ලිම් ජනයා මෙහි සිටිනු ඇතැයි ද මාගේ සිංහල සහෝදරයන් හට ඉඳුරා පවසමි. තවද ජගත් වේදිකාවේ ස්වාභිමානය ඇති රටක් ලෙසින් තමන්ට වූ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගැනීම සඳහා මෙම කුඩා දේශයේ දූ පුතුන්ගේ දායකත්වය අවශ්‍යව සිටින මොහොතක මගේ ජන කොටස වෙතින් ඒ සඳහා වන දේශප්‍රේමි උරදීමක් සඳහා කන්නලව් කළයුතු තත්ත්වයක් කිසි විටක ඔබට ඇති නොවනු අතැයි මා උදක්ම කියා සිටිමි.”මෙලෙසින් ස්වාධිපත්‍ය පනතට රාජ්‍ය සමුළුව නියෝජනය කළ මුස්ලිම් නායකයෝ සිය ජනයා වෙනුවෙන් සහයෝගය මුළුමනින් ම ලබා දුන්හ.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ අනුග්‍රහයෙන් සම්පාදනය කරන ලද ස්වාධිපත්‍ය පනතට 1945 වසරේ සැප්තැම්බර් මස 09 වන දින ආචාර්ය ටී.බි. ඡායා සහ වෛද්‍ය එම්.සී.එම්. කලීල් යන මුස්ලිම් නායකයින් පනත් කෙටුම්පතට පක්ෂව කතා කළ අතර එයට ඡන්දය දෙන අවස්ථාවේ ජයා මහතා පැමිණ නොසිටි හෙයින් වෛද්‍ය කලීල් හා ශ්‍රීමත් රාසික් ෆරීඩ් යන දෙදෙනා පක්ෂව ඡන්දය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ කැමැත්ත හෘදයාංගවම ප්‍රකාශ කර සිටියෝ ය. ශ්‍රී ලංකාවේ වාසය කරන මුස්ලිම්වරුන් නියෝජනය කරන ලංකා මුස්ලිම් ලීගය විසින් දිවයිනේ විවිධ පළාත්වල මුස්ලිම් ජනයා හමු වී මෙයට අදාළව සභාව ඉදිරියේ ඇති වැදගත් කරුණු ගැන නිසියාකාරව සාකච්ඡා කළ අතර සමස්ත මුස්ලිම් ජනයාගේ සහයෝගය මෙම පනතට තිබෙන බව සනාථ කරන ලදී. ශ්‍රී ලාංකේය සිංහල ජනයා වෙනුවෙන් මුස්ලිම් ජනයාට සිය කෘතඥතාවය පළකරමින් සිංහල නායකයින් ද සිය අදහස් පළ කර සිටියහ. ටී.බි. ජයා, දොස්තර කලීල් හා රාසික් ෆරීඩ් යන තිදෙනා නියෝජන සැලැස්ම අනුව ඇතැම් කරුණු වලදී යම් යම් දුෂ්කරතා මුස්ලිම් ප්‍රජාවට ඇතිවිය හැකි යන ප්‍රතිපත්තිමය සඳහනක් මෙම පනතේ ඇති බව දැනගෙන ද, දේශයට ලැබෙන ස්වාධීනතාවයේ සංකල්පයට මුල්තැන දෙමින් මෙම තිදෙනා මෙයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී සිටියහ.

එසේම පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් හා ආරුමුගම් නාවලර් යන දෙමළ නායකයින් සැබෑ මානව හිතවාදීන් ලෙස භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සියලු ජනතාවගේ නිදහස වෙනුවෙන් දේශපාලනිකව සටන් කළහ. විශේෂයෙන් බ්‍රිතාන්‍ය මිෂනාරි සංවිධානවල ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරට හින්දු ආගමිකයන්ට පමණක් නොව සිංහල මුස්ලිම් ජාතිකයන්ටද පහර වැදුණි.විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ ඉතා ප්‍රබල ලෙස මිෂනාරි ව්‍යාපාරය පැතිරයාම නිසා හින්දු ආගමට අභියෝග එල්ල විය. මීට ප්‍රතිචාර ලෙසින් හින්දු ආගමික නායකයින් ගත් ක්‍රියාමාර්ග නිසා හින්දු ආගමික හා සංස්කෘතික පිබිදීමක් ඇති විය. ඒ අනූව හින්දු පුනරුද ව්‍යාපාරය බිහිවූ අතර එහි නායකත්වය සපයන ලද්දේ ආරුමුගම් නාවලර් තුමා විසිනි. ‘උදයභාණු’ නමින් පුවත්පතක් ආරම්භ කොට හින්දු ආගම හා සංස්කෘතියේ වැදගත්කම පිළිබඳව දමිළ ජනයා දැනුවත් කිරීමට එතුමා කටයුතු කළේ ය. තවද වන්නාර්පන්නෙයි ශෛව ප්‍රකාශ් විද්‍යාලය පිහිටුවා දමිළ සිසුන්ට සමයානුගත අධ්‍යාපනයක් ලබා දීමට හින්දු පාසල් පිහිටුවීමේ ව්‍යාපාරයක්ද ආරුමුගම් නාවලර්තුමා ආරම්භ කළේය. එතුමාගේ අභාවයෙන් පසුව නිදහස් සටනේ පුරෝගාමි හින්දු නායකත්වය ගනු ලැබූවේ පොන්නම්බලම් රාමනාදන් සහ පොන්නම්බලම් අරුණාචලම් විසිනි.

සන්නද්ධ අරගලයක් වෙනුවට 1917 වර්ෂයේදී ලංකා ජාතික සංගමය ආරම්භ කරමින් දේශපාලනික මුහුණුවරින් මෙන්ම කොළඹ අමද්‍යප මහ සභාව හරහා අනගාරික ධර්මපාල තුමන්ගේ සමාජීය මෙහෙයුම ද නිදහසේ ගමන් මඟ එළිපෙහෙළි කළේ ය. මේ දේශපාලනික නිදහස් සටනට නායකත්වය දුන් සිංහල දමිළ හා මුස්ලිම් නායකවරු අද අප මේ භුක්ති විඳින නිදහස වෙනුවෙන් උරදුන්නෝ ය. මේ අනුව 1948 පෙබරවාරි මස 04 වෙනි දින බ්‍රිතාන්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගනු ලැබූවේ සියලුම ජාතිකයින්ගේ එකමුතුවෙන් බව සඳහන් කළ යුතු ය.

එම්. තාරික්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT