නිදහස් වීම යනු කෙනකු බැඳ තබන ලද යදම් ඉවත් කිරීම පමණක් නොව, අන් අයගේ නිදහසට ගරු කරන සහ එය වැඩි දියුණු කරන ආකාරයෙන් ජීවත් වීමයි. -නෙල්සන් මැන්ඩෙලා
කැලැන්ඩර් අර්ථයෙන් ගෙවී ගියේ 77 වෙනි නිදහස් දිනය යි. සැමරීමට තරම් නිදහසක් අප විසින් අත්කරගෙන ඇත්දැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරති. ඒ අතරම මුතුන් මිත්තන් දිවිපුදා රැකගත් ‘නිදහස’මීට වඩා අති උත්කර්ෂවත් ලෙස සැමරිය යුතු යයි කියන්නවුන්ද නැතුවා නොවෙයි. දැවැන්ත ආර්ථික අර්බුදයකට පසුව හිස් අහසට හෝ මුහුදට එල්ල කරන වෙඩි උණ්ඩය පවා ණයට ගන්නට සිදුවූ රටක අභිමානය කෙබඳුදැයි රැඩිකල් ලෙස ප්‍රශ්න කළ අය සිටියහ.
මෙවැනි පසුබිමක කිවහැක්කේ අප විසින් සමරනු ලැබූ නිදහස පරස්පර විරෝධී භාවිතාවක් බවයි. අනවශ්‍ය වියදම් කප්පාදු කරමින්, අත්‍යවශ්‍ය අංග පමණක් පවත්වා ගනිමින්, සරලව යම් චාරිත්‍රයක් ඉටු කිරීමකි. වෙනස් අයුරකින් කිවහොත් අප ඉල්ලා සිටියේ අඩු පම්පෝරි සහිත රාජ්‍ය සැමරුමකි.
ණය බරින් මිරිකුණු, දූෂිත දේශපාලනයකට චෝදනා ලැබ තිබෙන, සිවිල් යුද්ධයකින් රටේ ඒකමිතිය විනාශ කරගත් රටක් ලෙස ලෝකයේ ප්‍රකටව සිටි අප ශිෂ්ටත්වය කරා කෙමෙන් හිස ඔසවමින් සිටිමු. දශක තුනකට අධික කාලයක් භේද භින්නව සිටි උතුරු-නැෙඟනහිර ජනයා පළමු වරට රටේ රාජ්‍යය, තමන්ගේත් රාජ්‍යය ලෙසත්, පාලකයා තමන්ගේ පාලකයා ලෙසත් පිළිගෙන තිබේ. එබැවින් දැන් අපට ‘නිදහස’ සම්බන්ධයෙන් අපගේ සාමූහික අනන්‍යතාව පිළිබඳ යථාර්ථවාදී තක්සේරුවක් ඇත.
එම අර්ථයෙන් අපට දැන් සත්‍ය වශයෙන්ම නිදහස් වීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද යන ප්‍රශ්නය මතු කළ හැකි ය. නිදහස යනු තවදුරටත් දිනාගත යුතු දෙයක් නම් ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි අන් කවරදාටත් වඩා සාමූහිකව පරිකල්පනය කළ හැකි අවස්ථාවක් උදාවී තිබේ. පැවති සම්ප්‍රදායික අර්ථ පද්ධතියෙන් ‘නිදහස’ට නිදහස දීම ඒ සඳහා තැබිය යුතු පළමු පියවරයි.
පසු ගිය දෙසැම්බරයේ දිනෙක පැවති දරුවන්ගේ පෙරපාසල් වාර්ෂික විවිධ ප්‍රසංගයකි. නානාවිධ වර්ණිත ගැයුම් රැඟුම් එහි විය. ඒ අතර වූ නාට්‍ය ජවනිකාවකි. රංගනය ඉතිහාස කතාවක් ඇසුරිනි. ඒ සිරි පැරකුම්බා කතන්දරය ය. බිලිඳකු කොට්ටයක තබාගෙන බිසව රජු අභිමුවට යයි ( කොට්ටය මත බෝනික්කෙකි ). ඇය විසින් රජුගෙන් අසන පැනයකි. ඒ රජුගේ ඇවෑමෙන් මතු දිනෙක රජවන කුමරු පිළිබඳව ය. රජුගේ පිළිතුර ඒ සිරි පැරකුම්බා බවයි. බිසව අමනාප වෙයි. ඇය නැවත නැවත කියා සිටින්නේ තම දෑතෙහි සිටින දරුවාට රජකම ලබා දිය යුතු බවයි. ඒ සමඟම රජුට සතුරු හමුදාවක් පැමිණ ඇති බවට පණිවිඩයක් ලැබෙයි. අනාගත රාජ උරුමය පිළිබඳ කතාව එතෙකින් අවසන් කරන රජු යුද වැදීමට පිටත්ව යයි.
වේදිකාව මත තෝමර සහ කඩු අතින් ගත් රජු සහ හේවායන් ය. පසුබිමින් වැයෙන රණ ගීයකි. වේදිකා තිරය මත දිස්වන්නේ සටනකි. කඩු ගෙන අසුන් මත නැඟ යුධ වදින හේවායන් ය; ආයුධ පහර වැද වැටී මියැදෙන හේවායන් ය; ගිනිගෙන දැවෙන ගොඩනැඟිලි ය. සමස්ත වේදිකාවම යුධ පිටියකි.
පසුගිය දවසක මුහුණු පොතේ ඉහළ පහළ ගිය දසුනකි. ඒ මද්දුම බණ්ඩාර පුවත ය. දරුවා වංගෙඩියේ ලා කොටවන දසුන ය. රඟපෑමට එක් වූ දරුදැරියන්ගේ රංගනයන් විශිෂ්ට ය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් ඉතිහාසයේ තිත්ත තැන් නැවත නැවත දරුවන් ලවා කරවීමෙන් සිදුකරන බරපතළ හානිය පිළිබඳ පෙරපාසල් ගුරුවරුන්ටත් ඒ ගැන වගකිවයුත්තන්ටත් වගක් නැත.
ඉතිහාසය යනු කුමන්ත්‍රණ සංචිතයකි. වෛරය සහ රුහිරය පිරුණු තැනෙකි. සහෝදරයෝ කා කොටා ගනිති. දරුවෝ පියවරුන් මරති. මේවා වීරක්‍රියා ලෙස වර නැඟෙන සංස්කෘතියක් අපට හිමි ය.
ජාත්‍යන්තර නිර්වචනයට අනුව පූර්ව ළමා විය යනු දරුවකු මව්කුස පිළිසිඳ ගත් දින සිට අවුරුදු 8 දක්වා කාලය යි. ශ්‍රී ලංකාවේ මුල් ළමා විය ජාතික ප්‍රතිපත්තියට අනුව 0-5 දක්වා කාලයයි. පුද්ගලයකුගේ බුද්ධි සංවර්ධනයෙන් 80%ක් ම සිදු වන්නේ මෙම කාලයේ දී ය. පංචේන්ද්‍රියන් හරහා ලබා ගනු ලබන අත්දැකීම් පදනම් කොටගෙන මොළයේ සිදුවන සෛල උත්තේජනය හරහා මෙම සංකීර්ණ ක්‍රියාවලිය සිදු වෙයි.
මනෝවිද්‍යාව පිළිබඳ අදහස් පළ කළ චින්තකයකු වන ජින් පියාජේ විසින් ඉදිරිපත් කරන ලද ‘ ප්‍රජානන වර්ධනය’ ලෙස හඳුන්වා දෙනු ලබන්නේ දරුවකු ඉපදීමේ සිට ම අවට ලෝකය පිළිබඳ දැනුම අවබෝධය ගොඩනඟා ගනිමින් ස්වකීය බුද්ධිය වැඩිදියුණු කරගැනීම යි. මතක තබා ගැනීම, සංජානනය, දැනීම, සිතීම, සංවිධානය, තීරණ ගැනීම, පරිකල්පනය යනාදිය ප්‍රජානන ක්ෂේත්‍රයට අයත් බව ඔහු පෙන්වා දෙයි. පියාජේ විසින් බුද්ධි සංවර්ධනයේ අවධීන් හතරක් දක්වා ඇති අතර අවුරුදු 2 සිට 7 දක්වා පූර්ව ක්‍රියාකාරි චින්තන අවධිය ලෙස දක්වා ඇත. එය කොටස් දෙකකට බෙදන ඔහු වයස 4.5 සිට 7 දක්වා ‘ප්‍රතිභා චින්තන අවධිය’ ලෙස දක්වයි. මේ අවධියේ දි ළමයින්ගේ සිතීම කෙරෙහි බලපාන්නේ සංජානන ශක්තිය බව ඔහු පෙන්වා දෙයි.
සංජානනය යනු ඉන්ද්‍රීයන් පිහිට කොට ගෙන බාහිර වස්තුන් හැඳින ගැනීමයි. නැතහොත් බාහිර ලෝකයේ ක්‍රියාකාරිත්වයන් හා තත්ත්වයන් පිළිබඳ විවිධ අරමුණු මොළය විසින් ග්‍රහණය කර ගැනීම සංජානනය යි.
ඉතිහාසයේ ප්‍රචණ්ඩත්වය වේදිකාවක් මත උත්කර්ෂයට නැංවීම තුළ කවර සංජානන වර්ධනයක් සිදුවේදැයි නොදනිමි. එහෙත් මරා දැමීම, පුළුස්සා දැමීම, සතුරා ලෙස නම් කරනු ලබන අනෙකා විනාශ කොට දැමීම ‘නියම වැඩක්’ බව ළපටි සිත් තුළට කාවදින බව ඇසට පෙනෙන සත්‍යයකි. ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් මරා ගැනීම ලේ හළා ගැනීම ලෝකය ම මුහුණ දෙන ඛේදවාචකයකි. ප්‍රතිභා චින්තන අවධියේ දී ම එය ළදරු සිතට කාවැද්දවීම බරපතළ අපරාධයකි.
ඉතිහාසය සහ ඉතිහාස සිදුවීම් යනු මුදුන්මල්කඩවල් නො වන වග පෙරපාසල් ගුරුභවතුන් වටහා ගත යුතු ය. තනිතනිව ඒවා තෝරා බේරා ගැනීමට නොහැකි නම් ඒවා තෝරා බේරාදෙන්නට රජය විසින් ඉදිරිපත්විය යුතු ය. පුද්ගලයකුගේ බුද්ධි වර්ධනයෙන් 80% සිදු වන මුල් ළමා විය අධීක්ෂණය කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරයක් නොවීම ඛේදවාචකයකි. එය පවතින්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ය. මුල් ළමා විය සංවර්ධනය කිරීම පෙරපාසල් වෙත පවරා නිදහසේ සිටීම වෙනුවට ළමා මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයන් සහ අධ්‍යාපඥයන් වෙත මෙම වගකීම පවරා අධීක්ෂණය කිරීම වගකිවයුතු රජයක ප්‍රමුඛ කාර්යයකි.
හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ