ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන මාධ්‍ය මෙහෙයුම් කළමනාකරු වන බංගලාදේශ ජාතික පන්වීර් අහමඩ් මහතාට කළ පහරදීමක් සම්බන්ධයෙන් බස් රථ රියැදුරෙක් හික්කඩුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල, වඳුරඹ පදිංචිකරුවෙක් වන බස් රථ රියැදුරු වයස අවුරුදු 34ක් වන අයෙකි.
ඉකුත් 28 වැනිදා හික්කඩුව, නාරිගම පිහිටි හෝටලයක් ආසන්නයේදී මේ සිදුවීම වී තිබේ. මාධ්‍ය මෙහෙයුම් කළමනාකරු ඇතුළු ක්‍රිකට් තරගයේ පහසුකම් සපයන කණ්ඩායම නවාතැන් ගෙන සිට ඇත්තේ එම හෝටලයේය. එම පිරිස ක්‍රීඩාංගණයට රැගෙන යෑමේ වගකීම පැවරී තිබී ඇත්තේ මේ බස් රථ රියැදුරුට බව පොලීසිය කියයි. මෙදින ඔහු බස් රථය රැගෙන හෝටලය අසලට පැමිණි පසු බස් රථය පැමිණීමට ප්‍රමාද වූ බව පවසමින් රියැදුරුට දොස් නඟා ඇති බවත්, එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් පහරදීමක් සිදුව ඇති බවත් පොලීසියට ඒ ගැන පැමිණිලි කරමින් සඳහන් කර තිබේ.
පොලීසිය එහි ගොස් රියැදුරු අත්අඩංගුවට ගෙන පැමිණිල්ල විභාග කිරීමේදී සැකකාර රියැදුරා පවසා ඇත්තේ තමා පහරදීමක් සිදු නොකළ බවත්, බහින්බස් වීම අතරතුර තල්ලු කිරීමක් පමණක් සිදු වූ බවත්ය.
දෙපාර්ශ්වයේම කරුණු දැක්වීම්වලට අනුව පොලීසියට පෙනී ගොස් ඇත්තේ සන්නිවේදනයේ දුර්වලතාවක් හේතුවෙන් මේ තත්ත්වය ඇතිවී තිබෙන බවයි. ඒ බව පැහැදිලි කර දීමෙන් අනතුරුව දෙපාර්ශ්වයම සමථයකට පත්වීමට එකඟවූ නිසා අත්අඩංගුවට ගත් රියැදුරු පොලිස් ඇප මත මුදා හැර ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.