පොලිස් මූලස්ථානයේ, ‘119’ හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ දුරකතන ඇමතුම් 12ක් ලබා දී, තිරප්පනේ පොලීසිය නොමඟ යැවීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිරප්පනේ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු විවෘත අධිකරණයේදී එකී චෝදනාවට වරද පිළිගත්තේය.
ඒ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත් නදී ආකාස් කුරේරා මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය. තමන්ට එරෙහිව පවතින මෙම චෝදනාවට සැකකරු වරද පිළිගැනීමෙන් අනතුරුව සැකකරුට දඬුවම් නියම කිරීම ලබන මාර්තු මස 26 වැනිදාට කල්තැබූ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය, එදිනට සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවට පැමිණවීමට නියෝග කෙරිණ.
මෙසේ අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබුවේ තිරප්පනේ, පෑතිස්රඹෑව පදිංචිකරුවකු වන ප්‍රේමරත්නගේ සුසිල් ප්‍රේමරත්න නමැත්තෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් තිරප්පනේ පොලීසියේ සැරයන් එදිරිසිංහ මහතා සඳහන් කළේ, තිරප්පනේ පොලිස් වසමේ අපරාධමය සිද්ධියක් සිදු වන බව දන්වමින් ඉකුත් දෙසැම්බර් මස 18 වැනිදා පොලිස් මූලස්ථානයේ, 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට මෙම සැකකරු දුරකතන ඇමතුම් 12ක් පමණ ලබා දී ඇති බවයි.
ඒ අනුව අදාළ හදිසි දුරකතන ඇමතුම් මඟින් සැකකරු ලබා දුන් තොරතුරු පොලිස් මූලස්ථානයේ 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානය මඟින් තිරප්පනේ පොලීසියට නොපමාව දන්වා ඇති බව ද අධිකරණයට ප්‍රකාශ කළ සැරයන්වරයා, පසුව අදාළ අපරාධය සිදු වන බව පැවසූ ස්ථානයට තිරප්පනේ පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් තිබේ. සැකකරු විසින් දැනුම් දී ඇති පරිදි කිසිඳු අපරාධමය කටයුත්තක් අදාළ ප්‍රදේශයේ හෝ තිරප්පනේ පොලිස් වසම තුළ සිදුව නැති බවත්, එවැනි අපරාධයක් සිදු වීමේ සූදානමක් ද නැති බවත් එහිදී අනාවරණය වූ බව ද, අධිකරණයට සැල කළ සැරයන්වරයා පසුව සිදු කළ විමර්ශනයකදී හෙළි වූයේ සැකකරු විසින්,119 පොලිස් හදිසි ඇමතුම් සන්නිවේදන මධ්‍යස්ථානයට ලබා දී ඇති සියලු ඇමතුම් අසත්‍ය ඒවා බවයි.
මෙම කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින වරෙන්තු නිකුත් කරමින් තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ, මෙම සිද්ධියේ සැකකරු වන ප්‍රේමරත්නගේ සුසිල් ප්‍රේමරත්න නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එකී නියෝගයට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස වරද පිළිගෙන තිබේ.
රාජ්‍ය නිලධාරියකුට අසත්‍ය තොරතුරු සැපයීමේ චෝදනාව මත ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 190 වැනි වගන්තියප්‍රකාරව තිරප්පනය පොලීසිය සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් ලෙස පොලිස් මූලස්ථානයේ 119 හදිසි ඇමතුම් සන්නිවේදන මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා , තිරප්පනේ පොලීසියේ උප පොලිස් පරීක්ෂක කුමාරසිරි, සැරයන් වීරසේකර, (51600) සහ තිරප්පනේ පෑතිස්රඹෑව පදිංචි සිවිල් ආරක්ෂක කමිටු ක්‍රියාකාරීන් වන ක්ලැරන්ස් සුරංජිත් කපුගේ සහ එල්. තිලකරන්න යන මහත්වරුන් නම් කරනු ලැබ සිටියි.
තිරප්පනේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් කුමාරසිංහ මහතාගේ උපදෙස් මත සැරයන් ඉදිරිසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ අමීර සේනාරත්න මහතා පෙනී සිටියේය.