නැඟෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල ශූරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ නැඟෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලැබූ මේ තරගාවලියේ විවෘත පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ශෙනුක් සමරරත්න ලකුණු 21-12ක් සහ 21-18ක් ලෙස තිළිණ රාජකරුණා පරාජයට පත් කළේය. මඩකලපුව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී නිමාවූ ශූරතාවලියේ විවෘත කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-14ක්, 18-21ක් සහ 21-18ක් වශයෙන් පංචාලි අධිකාරී පරාජයට පත් කළ රෂ්මි මුදලිගේ කාන්තා ශූරතාව දිනා ගත්තාය.
ලකුණු 21-16ක් සහ 21-19ක් ලෙස සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග පරාජයට පත් කළ ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගත් අතර, එහි කාන්තා ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-13ක් සහ 21-16ක් ලෙස ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා පරාජයට පත් කළ රෂ්මි මුදලිගේ සහ වරංගනා ජයවර්ධන විසිනි. තිළිණ රාජකරුණා සහ නෙත්මි රත්නායකට එරෙහිව ලකුණු 21-17ක්, 20-22ක් සහ 21-17ක ජයක් ලැබූ තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි විවෘත මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීමට සමත් වූහ.
මේ අතර රෙෂාන් දිඹුක්කුවලගේ ලකුණු 21-18ක්, 16-21ක් සහ 21-19ක් ලෙස පරාජයට පත් කරමින් අවුරුදු 19න් පහළ බාලක ඒකල ශූරතාව දිනා ගැනීමට තිඩස ඉරූෂික සමත්වූ අතර, ලකුණු 21-13ක් සහ 21-15ක් ලෙස තිසේජා දම්නදි හේරත් පරාජයට පත් කළ රනුමි මානගේ එම තරග අංශයේ බාලිකා ඒකල ශූරතාව දිනා ගත්තාය. 19න් පහළ බාලක යුගල ශූරතාව සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග දිනා ගත් අතර, දිල්නි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ බාලිකා යුගල ශූරතාව දිනා ගත්හ.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවති මේ ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500කට ආසන්න සංඛ්‍යාවක් එක් වූහ.
ෆවුස් මොහොමඩ්