බෝමිරිය ජාතික පාසලේ වත්මන් විදුහල්පතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකෙරෙන විරෝධතාවක් පෙරේදා (27) පාසල ඉදිරිපිට දී පැවැත්විණි.
විදුහල්පතිවරයාගේ අකාර්යක්ෂම පරිපාලනය නිසා බෝමිරිය ප්‍රදේශයට ආලෝකයක් වූ බෝමිරිය ජාතික පාසල දිනෙන් දිනම පරිහානියට පත්වන බවත්, සිසු විනය පිරිහී ඇති බවත්, සිසුන් දිගින් දිගටම පාසලින් අස්වී යන බවටත් ඔවුහු චෝදනා කළහ.
ආදි ශිෂ්‍ය, මවුපිය එකමුතුවෙන් පැවැත්වූ මේ විරෝධතාවයේදී විදුහල්පතිවරයාට එරෙහිව සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කිරීමද සිදුවිය. එදින සාමාන්‍ය ලෙස පාසල පැවැත්වූ අතර විරෝධතාව නිසා පාසලේ වැඩකටයුතුවලට බාධා නොවන අයුරින් එය පැවැත්වීමට සංවිධායකයින් කටයුතු කර තිබුණි. ගනේවත්ත පුරාණ රජමහා විහාරාධිකාරි බෝමිරියේ සිරිනන්ද හිමි, කොරතොට සුබෝධවංශ හිමි, ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්, පාසල සුරැකීමේ සංගමයේ නියෝජිතයින්, මවුපියන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
මේ පිළිබඳව විදුහල්පති අසංක මනෝජ් තිලකරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා ප්‍රකාශ කළේ අනීතිකව පිහිටුවා තිබූ ආදි ශිෂ්‍ය සංගමය වෙනුවට තමන් නීත්‍යනුකූල ආදි ශිෂ්‍ය සංගමයක් පිහිටුවීමට කටයුතු කළ නිසා එයට උරණ වූ සුළු පිරිසක් තමාට විරුද්ධව කටයුතු කරන බවය.
නවගමුව සමූහ – සුගත් ප්‍රේමතිලක