Sunday, April 20, 2025
Home » ඊ-වීසා වංචාව ගැන විධිමත් අධ්‍යයනයක් කරන්න

ඊ-වීසා වංචාව ගැන විධිමත් අධ්‍යයනයක් කරන්න

-චම්පිකගෙන් ආණ්ඩුවට අභියෝගයක්

by sachintha
January 29, 2025 1:22 am 0 comment

ඊ- වීසා වංචාව පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කර වහාම විමර්ශනයක් කරන්නැයි තමන් ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

යාපනයේ සංචාරයක නිරත වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

රට බංකොලොත් කළ පිරිසට දඬුවම් දෙන්නැද්ද? ඊ- වීසා වංචාවේ සැබෑ අපරාධකරුවන් කවුද? දේශපාලන පළිගැනීම් වෙනුවට රට ගොඩනඟන්න යැයි ඒ මහතා කීවේය.

ආවේ මහ බැංකු හොරු අල්ලන්න කියලා. අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න කියලා. ඒ වගේම වේදිකාවේ කටමැත දෙඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් දඬුවම් දෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වගේම මුදල් අමාත්‍යාංශය කරපු අය, තෙල් සංස්ථා කරපු අයට දඬුවම් දෙනවා. ඊ වීසා වංචාව කෝටි 320ක වංචාවක්. ඊ-වීසා වංචාවෙන් මුළු රටේම ජනතාවට පාස්පෝට් නැතිවෙලා තියෙනවා මාස දහයක් තිස්සේ. මේවා එකකටවත් පිළිතුරු දෙන්නේ නැතුව තමන්ගේ අර පාක්ෂිකයාගේ වෛරය පිරිමහ ගැනීම සඳහා අනුර යාපා වගේ පිරිස් අත්අඩංගුවට ගැනීම් කරනවා. ඒවා ඉදිරියටත් කරයි. මම කියනවා ඉදිරියටත් බොහෝ දෙනෙකුට ඒවා කරයි. ඒවා කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ වෛර පිරිමහ ගැනීමක් මිසක් ප්‍රධාන ප්‍රශ්නවලට උත්තර දීමක් නෙවෙයි.

පුළුවන්නම් රට බංකොලොත් කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් කරලා අර අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් දඬුවමෙන් එහාට ගිහිල්ලා දඬුවම් ලබාදීමකට ක්‍රියා කරන්න. පුළුවන්නම් අර අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු මහ බැංකු වංචාවේ අයට දඬුවම් කරන්න. ඔබ කිව්වේ සියලුම දෙනාට දඬුවම් දෙනවා කියලා. මුදල් ඇමැතිලාට, අගමැතිලට, සියලු දෙනාටම දඬුවම් දෙනවා කියලා. පුළුවන්නම් දඬුවම් දෙන්න. ඒ අතීත කතා බැරි නම් අඩුම ගානෙ මේ ඊ-වීසා, ඊ-පාස්පෝට්, වංචනිකයන්ට පුළුවන් නම් දඬුවම් දෙන්න. අපි දන්නවා ඒ සියලු දෙනා ඒ චෞර වළල්ලේ ඉන්න බොහෝ ඔබේ ගජ මිතුරන් බව. ඒ නිසා ඔබ මේකට පොඩ්ඩක් පැකිළෙනවා. ගොත ගහනවා. මේවයේ නම් කියන්න ගියහමත් ඔබේ නායකයන්ට ගොත ගැහෙනවා.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT