Home » සැකකරුවකු ලෙස සුසන්ත සිල්වා නම් කරනවාද නැද්ද කියා අධිකරණයට දැනුම් දෙන්න නියෝග
අනුර ප්‍රියදර්ශනගේ ගංවතුර ආධාර නඩුව:

සැකකරුවකු ලෙස සුසන්ත සිල්වා නම් කරනවාද නැද්ද කියා අධිකරණයට දැනුම් දෙන්න නියෝග

by sachintha
January 29, 2025 12:20 am 0 comment

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුවේ සැකකරුවකු ලෙස ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතාගේ නම ඇතුළත් කරන්නේද නැද්ද යන්න පිළිබඳව ලබන මස 25 දින අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට ඊයේ (28) නියෝග කළේය.

කුරුණෑගල බිංගිරිය හා නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 6,146,110 ක මුදලක් ලබාගෙන එම මුදල් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා කර ඇති බව කියන සිද්ධියට අදාළව මෙම නඩුව පවරා තිබේ.

සුසන්ත සිල්වා මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව නැවත ලංකාවට පැමිණීමට නියමිත බවත්, එම අවස්ථාවේදී ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණහොත් ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වන බැවින් තමන් මෙම ඉල්ලීම කරන බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැන්වීය. හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා හා ඔහුගේ පෞද්ගලික ලේකම්වන ඔහුගේ බිරිය ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණය හමුවේ පවරා ඇති නඩුව පසුගිය දින විභාගයට ගත් අවස්ථාවේදී තම සේවාදායකයාගේ නම කිහිප වරක් ප්‍රකාශ වූ බවත් සැබැවින්ම ඔහු එම නඩුවේ සැකකරුවකු ලෙස නම්කර තිබේද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඊයේ (28) ගොනු කළ මෝසමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ එම නඩුවේ සැකකරුවකු ලෙස සුසන්ත සල්වා මහතාගේ නම අධිකරණ ලිපිගොනුවේ සඳහන්ව නොමැති බවය.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ සුසන්ත සිල්වා නමැත්තාගේ නම කීප වරක් ප්‍රකාශ වූ නිසා ඔහුගේ දෛනික කටයුතුවලටද බාධාවක් විය හැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා මෝසමක් මඟින් පෙන්වා දෙන බැවින් ඒ සම්බන්ධයෙන් ලබන මස මස 25 දින අධිකරණය හමුවට පැමිණ කරුණු දක්වන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

අදාළ නඩුව මෙහෙයවන විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අවස්ථාවක එම මෝසම විභාගයට ගැනුණු නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරියකු එම අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

කල්පනි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT