Home » වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 170කට මිලියන 6.5ක දඩ

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 170කට මිලියන 6.5ක දඩ

by sachintha
January 29, 2025 12:18 am 0 comment

 

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් 170 දෙනෙකුට අධිකරණ මඟින් රුපියල් මිලියන 6.5ක දඩ නියමකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක බව අධිකාරිය පැවැසීය.

ඊයේ (28) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කය ආවරණය කරමින් මහනුවර නගරය සහ අවට ප්‍රදේශ ඇතුළු මාවනැල්ල, පේරාදෙණිය, ගෙලිඔය, ගම්පළ, උඩුපුස්සැල්ලාව, නාවලපිටිය, උලපනේ, තැන්නේ කුඹුර, කුණ්ඩසාලේ, දිගන, කඩුගන්නාව යන ප්‍රදේශ ආවරණය කරමින් වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළඳුන් සොයා අතිරේක කණ්ඩායම් 05ක් ද යොදවා සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී වැඩි මිලට සහල් අලෙවි කළ සමාගම් දෙකක් ඇතුළු වෙළඳුන් 25 දෙනෙකු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදි.

පසුගිය දිනවල පමණක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් වැඩි මිලට අලෙවි කළ වෙළඳුන් 170කට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකළ අතර සිදුකරන ලද නඩු පැවරීම්වල දී වැඩි මිලට සහල් අලෙවිකළ පිටකොටුව ප්‍රදේශයේ සමාගමක් වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 750,000.00ක දඩ මුදලක් සහ පිටකොටුව ප්‍රදේශයේ තනි පුද්ගල ව්‍යාපාර 3ක් සඳහා එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් 250,000.00 බැගින් ද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මඟින් දඩ නියම කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ වෙළඳුන් 10 දෙනෙකු අධිකරණවලට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව එක් ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂය බැගින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය මඟින් දඩ නියම කර ඇත.

ඒ අනුව පසුගිය දිනවල සහ 28 දිනයේදී සිදු කරන ලද නඩු පැවරීම්වලට අදාළව පමණක් සහල් වැඩි මිලට අලෙවිකරණ ලද වෙළඳුන්ට රුපියල් මිලියන 6.5කට අධික දඩ මුදල් අදාළ අධිකරණ මඟින් නියම කර ඇති අතර තවදුරටත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙළඳුන් සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT