ලංකාපටුන මුහුදු තීරයේ පිහිටි මොහොත්තුවාරම් කළපුවේදී පෙරේදා (27) බෝට්ටුවක් තවත් බෝට්ටුවක හප්පා එහි සිටි ධීවරයකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් තවත් ධීවරයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
විමර්ශන පැවැත්වූ ඊච්චලම්පත්තුව පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදුකළ බව කියන අනෙක් බෝට්ටුවේ සිටි ධීවරයන් දෙදෙනෙකි.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ඊච්චලම්පත්තු, ඉලංගතුරේ මොහොත්තුවාරම් ප්‍රදේශයේ පදිංචි වඩිවෙල් මහේන්ද්‍රන් (52) නමැති අයෙකි.
සැකකරුවන් දෙදෙනා මරණකරුගේ බෝට්ටුව හප්පවා ඇති අතර එහිදී එම බෝට්ටුවේ සිටි මියගිය තැනැත්තා කළපුවට වැටී ඇති බවට අනාවරණය විණැයි පොලීසිය කියයි. මෙම අනතුර හිතාමතාම කළ එකක් බව මරණකරුගේ බෝට්ටුවේ සිටි අනෙක් ධීවර කාර්මිකයා ප්‍රකාශ කර තිබූ බව ද පොලීසිය සදහන් කරයි. මියගිය අය එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරී සාමාජිකයකුව සිට යුද ගැටුම්වලින් පසුව පුනරුත්ථාපනය වී ධීවර රැකියාවේ යෙදී සිටි අයකු බව ද පොලීසිය කියයි. මියගිය අයගේ මළ සිරුර ගොඩට ගෙන ඒමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ මුතූර් මහේස්ත්‍රාත් තස්ලිම් මොහොමඩ් පවුෂාන් මහත්මිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කරන ලෙසත් නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චලම්පත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. සී. ඩෙනිප් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ත්‍රිකුණාමලය විශේෂ – ඒ. ටී. එම්. ගුණානන්ද